කැන්ඩි පිලෙන් වාර්තා පිට වාර්තා | දිනමිණ

කැන්ඩි පිලෙන් වාර්තා පිට වාර්තා

ඇන්ඩ්රේ ෆ්ලෙචර් සහ පැතුම් නිශ්ශංක සහ වනිඳු හස­රං­ග

- වනිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්
- ෆ්ලෙචර්ගෙන් ශතකයක්

ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කළ වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීමත්, ඇන්ඩ්රේ ෆ්ලෙචර් සහ පැතුම් නිශ්ශංකගේ වාර්තාගත සබඳතාවත් හේතුවෙන් අයිපීඑල් තරගාවලියේ ඊයේ පැවති දෙවැනි තරගයෙන් ලකුණු 109ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් පිල කඩුල්ලක් දැවී ලකුණු 199ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය කලම්බු ස්ටාර්ස් පිලට ඕවර 14.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 90ක් පමණි.

මේ ජයග්‍රහණය වාර්තා අතරට එක් වූයේ එල්පීඑල් කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් තරගය ලෙසිනි. මින් පෙර ජැෆ්නා කණ්ඩායම කලම්බු කණ්ඩායමට එරෙහිවම ලකුණු 102කින් විශාලම ජයග්‍රහණය අත් කර ගෙන තිබිණි.

ලකුණු 26ක් රැස් කළ නායක ඇන්ජෙලෝ මැතිව්ස් කලම්බු පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, කීමෝ පෝල් ලකුණු 22ක්, ඩොමිනික් ඩ්රෙක්ස් ලකුණු 18ක් ඉනිමට එක් කළහ. සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව ඉක්මවීමට අවස්ථාවක් නොලැබුණු අතර, දක්ෂ පන්දු යැවීමක නිරත වූ කැන්ඩි නායක වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේ එල්පීඑල් තරගාවලියේ එවැනි දස්කමක් කළ පළමු පන්දු යවන්නා ලෙසිනි. ඔහු යැවූ ඉනිමේ 7 වැනි ඕවරයේ තෙවැනි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 9කට දැවී ගිය අතර, ඊළඟ පන්දු දෙකෙන් බෙනී හොවෙල් සහ සීක්කුගේ ප්‍රසන්න ලකුණු රැස් කිරීමට පෙරම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූයේ හසරංග කඩුලු ත්‍රිත්වය ලබා දෙමිනි.

15 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකින් කඩුලු 2ක් බිඳ දමමින් ෆේබියන් ඇලන් කැන්ඩි ජය ඉක්මක් කළේය.

පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ඇන්ඩ්රේ ෆ්ලෙචර් සහ පැතුම් නිශ්ශංක පළමු කඩුල්ලට ලකුණු 156ක් එක් කළේ පන්දු 94කිනි. මේ සබඳතාව වාර්තා අතරට එක් වූයේ එල්පීඑල් තරග බිමේ ඕනෑම කඩුල්ලක් සඳහා පිහිටුවූ ඉහළම ලකුණු සබඳතාව ලෙසිනි. පන්දු 41කදි හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 71ක් රැස් කළ නිශ්ශංක දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය.

උඩ පන්දු 4ක් (ලකුණු 2, 11, 18 සහ 24) අත්හැරීමේ වාසිය මනාව ප්‍රයෝජනයට ගත් ඇන්ඩ්රේ ෆ්ලෙචර් ශතකයක් (102) වාර්තා කළේ පන්දු 67කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟනි. එය එල්පීඑල් තරග බිමේ වාර්තා වූ තෙවැනි ශතකය ලෙස ඉතිහාසයට එක් විය. මින් පෙර ලෝරි එවන්ස් (2020දී) සහ අවිශ්ක ප්‍රනාන්දු (2021දී) එල්පීඑල් තරගවලදී ශතක වාර්තා කර තිබිණි.

නව අදහස දක්වන්න