එල්පීඑල් ශූරයෝ ජයග්‍රාහීව තරගාවලිය අරඹති | දිනමිණ

එල්පීඑල් ශූරයෝ ජයග්‍රාහීව තරගාවලිය අරඹති

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) පසුගිය තරගාවලි ද්විත්වයේදීම ශූරතාව දිනාගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මේ තරගාවලියේ තෙවැනි අදියර ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයෙන් ලකුණු 24ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

ඔවුන් හමුවේ එල්පීඑල් තරගාවලි ද්විත්වයේම අනුශූරයන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් පිල පරාජයට පත් විය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී චාම් උත්සවයකින් අනතුරුව පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ගෝල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා පිල ඕවර 19.5කදී ලකුණු 137කට දැවී ගිය අතර, එම ඉලක්කය හඹා ගිය ගෝල් කණ්ඩායමට ඕවර 20 අවසානයේ සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 113ක් පමණි.

නායක කුසල් මෙන්ඩිස් පන්දු 43කින් ලකුණු 51ක් රැස් කරමින් ගොල් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් දුන්නද මැද සහ පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් කණ්ඩායමට පරාජය අත් විය.

මෙන්ඩිස් සමඟ එක්ව පළමු කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනැඟීමට නුවනිඳු ප්‍රනාන්දු සමත් වූ අතර, ඔහුගේ ඉනිම ලකුණු 15කින් නිමා විය. කෙසේ වෙතත් ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 16ක් තුළ දවා ගැනීමට ජැෆ්නා පන්දු යවන්නෝ සමත් වූහ.

ඉමාඩ් වසීම් පන්දු 22කදී ලකුණු 17ක් රැස් කළ අතර, ජැෆ්නා පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව ඉක්මවීමට අවස්ථාවක් නොලැබිණි. පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක් දවාගත් අතර, විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2ක් දවා ගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා පිල වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ පන්දු 20කින් ලකුණු 30ක් සහ සොයිබ් මලික් පන්දු 27කින් ලකුණු 30ක් රැස් කළ අතර, ධනංජය ද සිල්වා ලකුණු 29ක් ඉනිමට එක් කළේය. ආබාධයකට ලක්ව ඉන් සුව වීමෙන් කලකට පසු පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ජැෆ්නා ඉනිම ආරම්භ කළ අතර, ඔහුට රැස් කළ හැකි වූයේ ලකුණු 9ක් පමණි.

පන්දු යැවීමේදී වහබ් රියාස්, නුවන් තුෂාර, ඉමාඩ් වසීම් සහ ඉෆ්තිකාර් අහමඩ් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු 30ක් රැස් කරමින් සහ ඕවර 3කදී ලකුණු 14කට කඩුල්ලක් දවා ගනිමින් දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.


නව අදහස දක්වන්න