කොල්ලකෑම් පහළොවකට සම්බන්ධ කොල්ලකරුවන් හයක් අත්අඩංගුවට | දිනමිණ

කොල්ලකෑම් පහළොවකට සම්බන්ධ කොල්ලකරුවන් හයක් අත්අඩංගුවට

ඒ අතර එකම පවුලේ මව හා පුතා 

පොලිස් වසම් හතක කොල්ලකෑම් 15කට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. අත්අඩංගුවට පත්වූවන් අතර එකම පවුලේ මවක් සහ පුතකු සිටින අතර තවත් සැකකරුවකුගේ අනියම් බිරිය ද සිටින බව පොලිසිය පවසයි.

එම සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ 20කට ආසන්න රන් ආභරණ, ජංගම දුරකතන, කොල්ලකෑම සඳහා යතුරුපැදිවලට යොදාගත් ආරක්ෂිත හිස් වැසුම් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. මොරගහහේන, බොරලැස්ගමුව, හොරණ, කහතුඩුව, කැස්බෑව, මහරගම හා පිළියන්දල පොලිස් වසම්වලදී මෙම කොල්ලකෑම් සිදු කර ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදිවලින් ගොස් මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සහ අත් බෑග් කොල්ලකෑම, කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියැදුරන් රැගෙන ගොස් කොල්ලකෑම හා පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම සැකකරුවන් විසින් සිදු කර ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් කාන්තාවක් හැරෙන්නට අන් සියලු දෙනා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවත් පොලිසිය කියයි. සැකකරුවන් හා සැකකාරියක් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි, පොලිස් සැරයන් (56958) ප්‍රසන්න, පොලිස් කොස්තාපල්වරුන් වන (71425) කුෂාන්ත, (90068) රත්නායක, (93729) වීරසිංහ, (97403) වික්‍රමසිංහ (86943) ජයතිලක, කාන්තා පොලිස් කොස්තාපල් (11824) මධුෂානි යන නිලධාරීහු විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න