බස් රියක් ත්‍රිරෝද රථයක ගැටී කාන්තාවක් මරුට | දිනමිණ

බස් රියක් ත්‍රිරෝද රථයක ගැටී කාන්තාවක් මරුට

කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ගලිගමුව බස් නැවතුම්පොළ ආසන්නයේදී බස් රථයක් ත්‍රිරෝද රථයක ගැටී කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා පෙරේදා (05) සවස කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගලිගමුව, බලපත්තෑව, අංක 164 ලිපිනයේ පදිංචිව සිටි කදුරංගලාගේ කුසුමා අයිරංගනී නමැති 61 හැවිරිදි කාන්තාවකි. තුවාල ලබා කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ මියගොස් ඇති කාන්තාවගේ දියණියක් වන 32 හැවිරිදි වෙදරාලලාගේ නුවන්ති ශානිකා, මිත්තණිය වන වයස අවුරුදු 4ක් වන වෙදාරාලලාගේ නෙසුකි දිල්ලිකි, ත්‍රිරෝද රථයේ රියැදුරු වන බෝයගම, ගලිගමුව ලිපිනයේ පදිංචිව සිටින ගමගේ ප්‍රියල් වීරසිංහ නමැති 52 හැවිරිදි රියැදුරකු බවත් පොලිසිය පවසයි.

අනතුරට මුහුණ පා ඇති අය ත්‍රිරෝද රථයකින් බල්ලාපන නගරයේ ඇති අමතර පන්තියකට ගොස් ආපසු නිවෙස බලා පැමිණෙමින් සිටියදීය.

අටුගොඩ සිට කෑගල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ත්‍රිරෝද රථයේ ගැටී ත්‍රිරෝද රථය පෙරළී සිවු දෙනා මාර්ගයට වැටී ඇති බවත්, කාන්තාව බස් රථය තුළට විසි වී තිබෙන බව පොලිසිය පවසයි. පසුව ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි තුවාලකරුවන් සිවු දෙනා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී 61 හැවිරිදි කාන්තාව මිය ගොස් තිබේ.

සෙසු තුවාල කරුවන් දැනට කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර හොරතල් පේඩිගේ ක්‍රිෂාන්ත ළහිරු ප්‍රභාත් නමැති 23 හැවිරිදි රියැදුරු අත්අඩංගුවට ගෙන ඊයේ (06) කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

බස් රථයේ හිමිකරු වන රිය සහායකවරයාට ද ප්‍රදේශවාසීන් විසින් පහරදී කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මිය ගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (06) වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි.

කෑගල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවරත්න හෙරත් මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන ප්‍රේමතිලක (36861), ලත්පදුර (42683) විමර්ශන කටයුතු සිදු කර තිබෙන අතර උප පොලිස් පරීක්ෂක සරත් ජයසුන්දර, පොලිස් කොස්තාපල් මදුසංක (74442) සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කෑගල්ල විශේෂ චමින්ද ජයලත්

නව අදහස දක්වන්න