මාධ්‍ය ආයතනයක ලක්ෂ 6ක කැමරා උපකරණ සොරාගත් සැකකරු අත්අඩංගුවට | දිනමිණ

මාධ්‍ය ආයතනයක ලක්ෂ 6ක කැමරා උපකරණ සොරාගත් සැකකරු අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේ මාධ්‍ය වාර්තාකරණයක යෙදී සිටි දෙරණ මාධ්‍ය ආයතනයේ කැමරා ආම්පන්න සහිත රුපියල් ලක්ෂ හයකට අධික දේපළ සොරාගන්නා ලද පුද්ගලයකු ඉකුත් 05 වැනිදා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දෙයියන්දර ප්‍රදේශයේ පදිංචිව සිටිමින් කොළඹ ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පළවල සිටිමින් කුලී වැඩ කරමින් සිටින 39 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.

ඉකුත් 01 වැනි දින කොල්ලුපිටිය ප්‍රදේශයේ මාධ්‍ය ආවරණ කටයුතුවල නිරතව සිටි දෙරණ මාධ්‍ය ජාලයේ පිරිසක් සතු කැමරා උපකරණ සහිත මෙම බෑගය සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයට අනුව සැකකරු ගල්කිස්ස, බඩෝවිට, සෙම්පරන් කොටුව ප්‍රදේශයේ සැරිසරන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව සැකකරු මෙම ආම්පන්න තොගය සමඟ පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇත.

අත්අඩංගුවට ගත් දේපළ අතර කැනන් කැමරා කාච 1ක්, කැනන් වර්ගයේ බැටරි චාජර් 1ක්, කැනන් වර්ගයේ කැමරා බැටරි 2ක්, ඇපල් වර්ගයේ හෑන්ඩ් ෆ්‍රී 1ක්, කින්ස්ටන් වර්ගයේ පෙන්ඩ්‍රායිවර් 3ක්, රිච්මි පවර් බැන්ක් 1ක්, 64 ජී.බී. 32 ජී.බී. මෙමරි කාඩ් 2ක්, ජාතික හැඳුනුම්පතක්, මාධ්‍ය ආයතන හැඳුනුම්පතක්, බැංකු කාඩ් හා වීසා කාඩිපත් 2ක්, මුදල් පසුම්බි 1ක්, යතුරු කැරලි 1ක්, කැමරා බෑග් 1ක් ඇතුළු භාණ්ඩ වන බව පොලිසිය කියයි.

මෙම වැටලීම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත, පොලිස් කොස්තාපල් (78065) මේනක, (92438) මධුෂාන්, පොලිස් කොස්තාපල් රියැදුරු (89863) රංගන යන නිලධාරීන් විසින් සිදු කර තිබේ.

දෙහිවල - ඩී පී.හේරත්

නව අදහස දක්වන්න