ආරක්ෂාවට සිටි ලොකු මාමා පාසල් දැරිය අපයෝජනයට ලක් කරලා | දිනමිණ

ආරක්ෂාවට සිටි ලොකු මාමා පාසල් දැරිය අපයෝජනයට ලක් කරලා

වයස අවුරුදු 11යි මාස 07ක බාලවයස්කාර පාසැල් දැරියක් වූ තම සහෝදරියගේ දියණිය ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි දැරියගේ ලොකු මාමා වන 46 හැවිරිදි අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. සැකකරු තම බිරියගෙන් දික්කසාද වී සිටින දෙදරු පියකු බවද පොලිසිය සඳහන් කරයි.

ස්වාමිපුරුෂයා නිවෙසට පැමිණෙන්නේ සතියකට වරක් බැවින් ඔහුගේ කැමැත්ත මත පවුලේ ආරක්ෂාවට තම සහෝදරයා නිතර තම නිවෙසට පැමි‍ණෙන අතර බොහෝ අවස්ථාවල රාත්‍රී කාලයේ නවාතැන් ගන්නා බවද දැරියගේ මව පොලිසියට පවසා ඇත.

අදාළ දින රාත්‍රි 12.00ට පමණ තම දියණිය නිදි ඇඳේ නොසිටි නිසා ඒ පිළිබඳව සෝදිසි කිරිමේදී ඇය තම සහෝදරයා නිදා සිටි කාමරයේ සිට වැසිකිළියට දුව යනු දුටු නිසා යම් සැකයක් ඇති වූ බැවින් ඒ පිළිබඳව දියණියගෙන් තදින් විමසා සිටි අවස්ථාවේ තම සහෝදරයා කිහිප අවස්ථාවකම තම දියණිය ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව හෙළිවීමෙන් අනතුරුව තම දියණිය රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මව විසින් පොලිසියට පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශන කටයුතුවලදි සැකකරු දැරියට නිතර තෑගි භෝග ලබාදී ඇති බව හා ඔවුන් දෙදෙනා අතර සිදුවන රහස් දේවල් කිසිවකුට අනාවරණය කළහොත් දැරිය පරිවාසයටත් තමන් සිරගෙටත් දමාවියි කියා සැකකරු දැරිය බිය ගන්වා ඇති බවද අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් පසු නිවෙසින් අතුරුදහන්ව සිටි සැකකරු රාගම දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක වත්සලා කුමාරසිංහ, උප පොලිස් පරීක්ෂක අබේරත්න, කාන්තා පොලිස් කොස්තාපල් තුෂාරි (4791) යන නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ජා ඇළ විශේෂ - තිස්ස කොටින්කඩුව

නව අදහස දක්වන්න