අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගන්න ව්‍යාජ 5000 නෝට්ටු දීලා | දිනමිණ

අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගන්න ව්‍යාජ 5000 නෝට්ටු දීලා

අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු දෙකක් සහ ව්‍යාජ දහසේ නෝට්ටු දෙකක් ලබා දුන් බවට සැක කරන පුද්ගලයකු පෙරේදා (5දා) අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පණ්ඩුලගම කොරකහවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මීට මාස දෙකකට පමණ පෙර නොච්චියාගම මුස්ලිම් කොලනියේ සහ නොච්චියාගම කඳුවැව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනකු ව්‍යාජ නෝට්ටු සමඟ අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ දී සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුව අනාවරණය වූ කරුණු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම ව්‍යාජ නෝට්ටු තමන් හට ලබා දුන් බව මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව විමර්ශන මෙහෙයවා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතාගේ උපදෙස් මත නිලධාරීහු පිරිසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරති.

අනුරාධපුර සංචාරක - සශිනි මධුෂානි

නව අදහස දක්වන්න