සිරිපා වන්දනා සමය ඇරඹෙන උදුවප් පොහොය අදයි | දිනමිණ

සිරිපා වන්දනා සමය ඇරඹෙන උදුවප් පොහොය අදයි

ව්‍යවහාරික වර්ෂ ක්‍රමයට අනුව උඳුවප් පුර පසළොස්වක් පොහොය යනු වර්ෂයේ අවසාන පොහොයයි. එනමුත් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය, ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය සරණ ගිය, ඒ උතුම් ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය සරණ ගිය ශ්‍රාවකයින් හට නම් එය එසේ නොවේ. තෙරුවන් සරණ ගිය සැදැහැවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට සාදු කාර දෙමින් සිහි කළ යුතු අනුස්මරණීය වූ සිදු විම් කිහිපයක් ම උඳුවප් පුන් පොහෝ දින මූලික වෙමින් සිදු වී තිබේ.

අනුරාධපුර උඩ මළුවේ විරාජමානව වැඩ සිටින්නේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය. අපගේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මෙලොව උපන් දිනයේ ම මහ පොළොවෙන් ජනිත වූ උතුම් වෘක්ෂය එය යි. දස මාර සේනා පරදවා තිලොව ම ජය ගත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට සෙවණ සැලසූ පින්බර වෘක්ෂය එය යි. දිවමන් මුනිරජාණන් මෙන් අද අප ලක් දෙරණේ ශ්‍රී විභූතියෙන් යුතුව වැඩසිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ පින්බර බිමට වැඩම කරවනු ලැබුවේ උතුම් වූ උඳුවප් පුන් පෝහෝ දිනයේ දී ය.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කොට මේ සිරි ලංකාද්විපයෙහි සම්බුදු සසුන පිහිටුවා මේ ලක් දෙරණ මත භික්ෂු සංඝයා බිහි කරවූ සේක. මේ ලක් දෙරණ මත භික්ෂුණී සංඝයා බිහි කොට වදාළේ මහ රහත් සංඝමිත්තා තෙරණින් වහන්සේ විසිනි. දඹදිව් තලයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩම කරවා ගෙන සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ මේ ලක් දිවට වැඩම කළේ ද උතුම් වූ උඳුවප් පුන් පොහෝ දිනයේ දීය.

එමෙන්ම උඳුවප් පොහොය එළඹීමත් සමග සිරිපා වන්දනා සමය ද ආරම්භ වේ. උඳුවප් පොහොයේ සිට වෙසක් පොහොය තෙක් සැදැහැ සිතින් සිරිපා වන්දනා කරන බොහෝ පින්වතුන් අපමණ පින් ඵල රැස්කර ගනිති. ඒ සමනොළ ගිරි සිරසෙහි පිහිටි අප මුනි රජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ශ්‍රී පාදයට ද අපගේ නමස්කාරය වේවා!

මෙබඳු උදාර සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුන් පොහෝ දින ය තෙරුවන් සරණ ගිය ගිහි උපාසක උපාසිකාවන්ගේ උතුම් උපෝසථ දිනය යි.

නව අදහස දක්වන්න