පාකිස්තාන තානාපති කාර්යාලයට එල්ල වූ අයිඑස් ප්‍රහාරය | දිනමිණ

පාකිස්තාන තානාපති කාර්යාලයට එල්ල වූ අයිඑස් ප්‍රහාරය

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පාකිස්තාන තානාපති කාර්යාලයට පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය බාර ගෙන ඇත. පාකිස්තාන තානාපතිවරයා ඝාතනය කිරීම ඉලක්ක කරමින් එල්ල වූ එම ප්‍රහාරයෙන් පාකිස්තාන ආරක්ෂක නිලධාරියකු තුවාල ලැබූ අතර, තානාපතිවරයාට කිසිදු අනතුරක් සිදු නොවිය. මේ ප්‍රහාරය තම සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකු විසින් එල්ල කරනු ලැබූ බව අයිඑස් ත්‍රස්ත සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි පාකිස්තාන විදේශ කටයුතු පිළිබඳ කාර්යාලය තහවුරු කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ස්නයිපර් ක්‍රමවේදයට අනුව එල්ල වූ මේ ප්‍රහාරය පාකිස්තාන රජයට අභියෝග කිරීමක් වන අතර, එය පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන තලේබාන් සංවිධානයට සහයෝගය පළ කිරීමක් ලෙසත් දේශපාලන විචාරකයෝ හඳුන්වති.

වසර 2018 දී එවකට තහනම් සංවිධානයක්ව තිබූ පාකිස්තාන තලේබාන් සංවිධානය සමඟ රහසිගත අයුරින් සටන් විරාම ගිවිසුමක් ඇති කරගනු ලැබුවේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් බව වාර්තා වේ. එම සටන් විරාම ගිවිසුම සඳහා පාකිස්තාන තලේබාන් සංවිධානයේ නියෝජිතයන් සමඟ එරට හමුදා නායකයන් සාකච්ඡා පැවැත්වූයේ ද කාබුල් අගනුවරදිය.

එහෙත් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන තලේබාන් සංවිධානය ප්‍රකාශ කර තිබුණේ එම සටන් විරාම ගිවිසුම නිල වශයෙන් අවසන් වූ බවය. එමෙන්ම සටන් විරාම ගිවිසුම අවසන් වීම හේතුවෙන් නැවත පාකිස්තානය පුරා ප්‍රහාර එල්ල කරන බවත් එම සංවිධානය අනතුරු අඟවා තිබිණි. ඉන් නොනැවතී ඊට දින දෙකකට පසු පාකිස්තාන තලේබාන් සංවිධානය උතුරු පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වාව ප්‍රාන්තයේදී ප්‍රහාරයක් එල්ල කළ අතර, ඉන් පොලිස් නිලධාරීන් තිදෙනකුට ජීවිත අහිමි විය. එම ප්‍රාන්තය පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේය. කාබුල් නුවර පාකිස්තාන තානාපති කාර්යාලයට ප්‍රහාරය එල්ල වූයේ එහි උණුසුම මැකීයෑමටත් පෙරය.

කාබුල් නුවර පාකිස්තාන තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවත්, දැනටමත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඇෆ්ගනිස්තාන තලේබාන් රජය නිවේදනය කර තිබේ. එහෙත් ඊට දිනකට පසු අමෙරිකාවෙන් නිකුත් වූ වාර්තාවකින් සඳහන් වූයේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන අයිඑස් ප්‍රහාර මැඬ පැවැත්වීමට තලේබාන් රජය අසමත් බවය. ඇෆ්ගනිස්තාන රජය පෙරළා දමා බලය අත්පත් කර ගැනීමට සමත් වූවද, තලේබාන් සංවිධානයට අයිඑස් ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාර මැඬ පැවැත්වීමට නොහැකි වීම විමතියට කරුණක් බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ. අනිත් අතට පාකිස්තාන රජයට අභියෝග කරන පාකිස්තාන තලේබාන් සංවිධානය සමඟ ඉතා සමීප සබඳතා ඇතැයි කියන ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානය පාකිස්තාන තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි නොදැන සිටීම හෝ එවැනි තොරතුරක් ඔවුන්ගේ බුද්ධි අංශයෙන් වාර්තා නොවීම ද විමතිය දනවන්නක් බව කියැවේ. ඒ අනුව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත්තේ පාකිස්තාන තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය පසුපස අයිඑස් ත්‍රස්ත සංවිධානය පමණක් නොව පාකිස්තාන තලේබාන් සංවිධානයේද සම්බන්ධතාවක් තිබිය හැකි බවය. ශෙබාස් ෂරීෆ්ගේ පාලනය යටතේ අර්බුද රැසකට මුහුණ පා සිටින පාකිස්තානයට සිය රටෙහි පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවදානමක් මතුවී ඇතැයි ද කියැවේ.

සදෙව් රත්නායක

නව අදහස දක්වන්න