රටේ ආදායම වගේ දහ ගුණයක් විදේශ විනිමය ජාවාරම්කරුවන් පිටරට හංගලා | දිනමිණ

රටේ ආදායම වගේ දහ ගුණයක් විදේශ විනිමය ජාවාරම්කරුවන් පිටරට හංගලා

චන්දන ජයවීර

රට බලවත් විදේශ විනිමය ගැටලුවකට මුහුණ දී සිටින්නේ පසුගිය අවු: 12 තුළ දී රටට ලැබිය යුතු අපනයන ආදායමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 53.5කට වැඩි ප්‍රමාණයක් ව්‍යාපාරිකයන් වෙනත් රටවල රඳවාගෙන තිබීම නිසා බවත් එය අවුරුදු 10ක රාජ්‍ය ආදායමට සමාන මුදලක් බවටත් ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ පසුගියදා අන්දෝලනාත්මක හෙළිදරව්වක් කළා. මේ මුදල නැවත රටට ලබා ගැනීමට අවශ්‍ය නීති සකස් කරන බව දිනමිණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මෙසේ පෙන්වා දුන්නේය.

අපේ රටේ ආර්ථිකය හැසිරවීමේ බලය පැවරී ඇති ආයතන මොනවාද?

ආර්ථිකය හැසිරවීමේ ප්‍රධාන බලය ව්‍යවස්ථාවෙන් ආයතන තුනකට පැවරී තිබෙනවා. ඒ අතරින් පාර්ලිමේන්තුව ප්‍රමුඛයි. එයට රටේ සම්පූර්ණ මූල්‍ය බලය අනන්‍ය ලෙස පැවරී තිබෙනවා. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය හා විධායකය හරහා මේ කාර්යය කරනවා. ඒ සඳහා රටට අවශ්‍ය විදියට මූල්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමට මහ බැංකුව ගොඩනඟා තිබෙනවා. එම මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යයේදී මුදල් අමාත්‍යාංශය සම්බන්ධ වෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම සිදු වුණේ කවදා සිටද? එයට බලපෑ හේතු ගැන ඔබේ අදහස කුමක්ද?

අපේ රටේ ආර්ථිකය කඩා වැටීම ඇරඹුණේ 2006දී. ඒ වන විට මම රාජ්‍ය බැංකු සංවර්ධන ඇමැති හැටියට කටයුතු කළා.

2006 දි මහ බැංකු අධිපති තනතුරට නිවාඩ් කබ්රාල් පත් වන විට ආර්ථිකය කඩා වැටිය හැකි බව මට වැටහුණා. ඒ පත් කිරීම මට ඇමැති තනතුරෙන් ඉල්ලා අස් වෙන්න බලපෑ ප්‍රධාන හේතුවක් වුණා. මේ රටේ ප්‍රධාන රාජ්‍ය ආයතන 16ක රුපියල් බිලියන 300ක් වංචා, දූෂණ සිදුව ඇති බව කෝප් කමිටුවේ සභාපති හැටියට මම පෙන්වා දුන්නා.

කෝප් වාර්තාවක් අධිකරණයට ගිය පළමු අවස්ථාව එයයි. අපේ නිර්දේශය අනුව නඩු තීන්දු දෙකක් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැවත පවරා ගැනීමට තීරණය වුණා. ඒ නිසා ලංකා හොස්පිටල් ආයතනය අපට ලැබුණා. සියලුම පුද්ගලික බැංකුවල කොටස් අපට ලැබුණා. රක්ෂණයේ තිබුණ ගිණුමකින් මුදල් ගෙන ලිට්‍රෝ සමාගම ඇති කරන්න අපට පුළුවන් වුණා.

අනෙක් නඩු තීන්දුව වන්නේ වරායේ ඉඩම් අක්කර 8.5ක් වංචනික ඔප්පුවක් මඟින් පැවරීමයි. ආණ්ඩුවට ශතයක්වත් ගෙවන්නේ නැතිව ජනාධිපතිගේ අත්සන ව්‍යාජව යොදලා මේ පැවරීම කරලා තිබුණා. මේ දෙකටම පී.බී. හා මිලින්ද සම්බන්ධයි. ඒ නඩු තීන්දුවෙන් හිටපු අගවිනිසුරුවරයා පී.බී රැකියාවෙන් වහාම නෙරපන්න හා රජයේ රැකියාවක් නොදෙන්න නියෝග කළා.

ඩොලර් බිලියන 53ක විදේශ විනිමය මහා පරිමාණ අපනයනකරුවන් විදේශයන්හි රඳවා තබා ගෙන සිටින බවට ඔබ පාර්ලිමේන්තුවේදි හෙළිදරව් කළා. ඒ පිළිබඳ තොරතුරු පැහැදිලි කළ හැකිද?

රට අගාධයට ගෙන ගියේ 225 කියලා ජනතාව අතර මතයක් තියෙනවා. රට වැට්ටුවේ ඔවුන් නෙමෙයි. 225ට රට වට්ටන්න බැහැ. හැබැයි රට වට්ටන්න දායක වූ අය 225 අතර ඉන්නවා. රට වැට්ටුවේ මහ බැංකුව හා ජාවාරම්කරුවෝ. අපේ රටේ ව්‍යාපාරිකයෝ අඩුයි. හොඳ වැදගත් ව්‍යාපාරිකයන් පවා පසුව ජාවාරම්කාරයෝ වුණා. එහෙම වුණේ මහ බැංකුව පාලනය අත්හැරීම නිසයි. අපනයන නීති වෙනස් කිරීම නිසා මේ පාඩුව වුණා. පිටරටට භාණ්ඩ අපනයනය කරන විට සල්ලි ඍජුවම මේ රටට එන්න ඕනෑ. ඒ මුදල් පිටරට රඳවා තබා ගන්න හැකි වුණා. එහි ප්‍රතිඵලයක් විදියට පසුගිය අවු:12ට අමෙරිකන් ඩොලර් බිලියන 53.5ක් රටට ලැබිය යුතු ආදායම වංචා කර ඇති බව අමෙරිකාවේ ආයතනයක් සමීක්ෂණයක් කර හෙළිදරව් කර තිබෙනවා. සංඛ්‍යා ලේඛන එහෙම වුණාට ඇත්ත ගණන ඊට වඩා හුඟක් වැඩියි.

අපේ සම්පූර්ණ විදේශ ණය ප්‍රමාණය ‍අමෙරිකානු ඩොලර් බිලියන 52යි. ඒ ණය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපේ මිනිස්සු පිටරට තියාගෙන ඉන්නවා. මේ අවුරුද්දට විතරක් එහෙම රඳවා ගෙන ඉන්න ප්‍රමාණය බිලියන 3ක් වෙනවා. අපි ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින්නේ ඒ නිසයි. රට මේ තත්ත්වයට පත් කළේ මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශයයි.

මම ඉහත කිව්ව මුදල රුපියල්වලින් කිව්වොත් බිලියන 19, 527ක් වෙනවා. අපි 2023 වසර සඳහා බලාපොරොත්තු වෙන මුළු ආදායම රුපියල් බිලියන 2,000යි. ඒ විදියට බැලුවොත් මේ වංචාකාර ජාවාරම්කරුවන් අවුරුදු 10ක රාජ්‍ය ආදායම පිරට හංගාගෙන ඉන්නවා. සුදු කරපටි ටයිකෝට්කාරයෝ හා ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ මේ විදියට රට කොල්ලකාලා තිබෙනවා. ඒ ගිණුම්වල තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගෙ දාඩිය කඳුළු ඇතුළු රීරි මාංශ. මේ මුදල් සිංගප්පූරුව, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඩුබායි වගේ රටවල ගිණුම්වල රඳවාගෙන ඉන්නවා.

අභියෝගාත්මක නීති ප්‍රතිසංස්කරණ කිහිපයක් ගෙන ඒමට ඔබ මූලික වුණා. ඒ අනුව යමින් රටට අවාසිදායක මෙම නීතිය වෙනස් කිරීමට අදහස් කරන්නේ නැද්ද?

මේ නීතිය අපි අනිවාර්යෙන්ම වෙනස් කරනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙය මගේ අමාත්‍යාංශයට අයත් කටයුත්තක් නෙමෙයි. ඒ වුණත් මම එයට මැදිහත්ව කටයුතු කරනවා. මෙතෙක් කල් හොරෙන් පිටරටවල රඳවාගෙන තිබෙන මුදල් ගෙන්වා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන දැන් අවධානය යොමු කර තිබෙනවා. වංචා දූෂණ නීතිය ඔස්සේ මේ මුදල රටට යළි ‍ගෙන්වා ගන්න අපහසුයි. එයින් යම් උපකාරයක් ගන්න පුළුවන්. නමුත් මේ සඳහා වෙනම නීතියක් සකස් කරන්න අප බලාපො‍රොත්තු වෙනවා.

ඒ නීතිය සංශෝධන කරන අතර දූෂණ විරෝධී පනත අප කෙටුම්පත් කර අවසන්. අල්ලස් හා දූෂණ, වංචා විමර්ශන කොමිසම මේවාට විරුද්ධව පියවර ගන්න සකස් කළ ආයතනයයි. ඒ කොමිසම සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය ආයතනයක්. මේ ආයතන තුනම කඩා වැටිලා කියන්නේ සම්පූර්ණ රටක්, රාජ්‍යයක් තියෙන්න විදියක් නැහැ. ඒ නිසා මේ රට මෙහෙම හෝ තියෙන එක ගැන මම සතුටු වෙනවා.

ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතන එක් කර නව ආයතනයක් ඇති කිරීමට අය වැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ අායතනවල ක්‍රියාකාරීත්වය ගැන විවේචන තිබෙනවා නේද?

බීඕඅයි කියන්නේ මේ රටේ තිබෙන දූෂිත ආයතනය බව මුළු ලෝකෙම දන්නවා. ලංකාවේ ව්‍යාපාර විනාශ වුණේ ආයෝජන මණ්ඩලය නිසයි. එයින් විදේශීය ව්‍යාපාරිකයන් පහසුකම් බදු සහන යනාදිය දෙනවා. නමුත් දේශීය ව්‍යපාරිකයන්ට ‍මේ සහන කිසිවක් නැහැ. අනෙක් එක බීඕඅයි යටතේ ලියාපදිංචි වූ බොහෝ සමාගම්වල කිසිම පාරදෘශ්‍යභාවයක් නැහැ. තීරු බදු වංචා කරනවා. මේ නිසා අවංකව ව්‍යාපාර කරන ආයෝජකයන්ට අසාධාරණයක් වෙනවා. මේ ආයතනය නිසා හැදීගෙන ආ ව්‍යාපාරිකයන් දහස් ගණනක් හිඟන්නන්ව සිටිනවා.

අඩුම ගණනේ ආයෝජන මණ්ඩලය ළඟ බීඕඅයි එකට එන හා යන කන්ටේනර් සංඛ්‍යාව ගැන ලැයිස්තුවක්වත් නැහැ. මේ ආයතනය කොච්චර හොර ගුහාවක් ද කියලා කිව්වොත් සත්ත්ව ආහාර කියලා නැව් 2-3ක් මේ රටට ගෙන්වා ඒවා පැකට් කර මේ රටේ මිනිස්සුන්ට විකුණා තිබෙනවා.

මේවා වළක්වන්න පාර්ලිමේන්තුවෙ 225 උනන්දුවක් නැහැ කියලා මිනිස්සු බණිනවා. ඒවා රකින මිනිස්සු මෙහි ඉන්නවා. එතැන ප්‍රශ්නයක් තියෙනවා.

නමුත් මේ ආයතනවල ගැටලුවක් තියෙන නිසා මේ ආයතන කිහිපයක් එක් කර වෙනම අධිකාරියක් හදන්න කටයුතු කරනවා. ඒ අනුව ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, අපනයන ණය රක්ෂණ සංස්ථාව, ජාතික ව්‍යවසාය සංවර්ධන මණ්ඩලය වැනි විදේශ වෙළෙඳ­ාමට හා ආයෝජනය සම්බන්ධ ආයතන එක් කරන්න අප කල්පනා කරනවා. මේ ආයතන කිසිවකින් අපේක්ෂිත බලාපොරොත්තු ඉටුව නැහැ.

මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කළ යුතු බවට මතයක් ඉදිපත්ව තිබෙනවා. ඔබ මේ අදහස පිළිගන්නවාද?

මහ බැංකුවට ප්‍රමාණවත් ස්වාධීනත්වයක් නීතියෙන් ලබා දී තිබෙනවා. එහතේ පසුගිය කාලේ එය දේශපාලන මඩමක් වුණා. කොටින්ම කිව්වොත් අද ආර්ථික ඝාතන ගැන ආර්ථික ඝාතකයෝ පොත් ලියන රටක් වෙලා. එහෙත් වර්තමාන මහ බැංකු අධිපතිවරයා ගැන මම පෞද්ලිකව හොඳින් දන්නවා. ඔහු මහ බැංකුවෙන් ඉවත් වුණේ පසුගිය කාලේ එහි සිදුවූ දේවල් දරා ගන්න බැරි නිසයි. කබ්රාල්ගෙ කාලේ ඔහුට වැඩ කරන්න දුන්නේ නැති නිසා අවසානයේ ඔහු රට අතහැර ගියා. දැන් අපට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මහ බැංකු අධිපතිවරයෙක් පත්ව සිටිනවා. ඔහුට වැඩ කරන්න තියෙන බලය වුවත් ඇති. තිබෙන ස්වාධීනත්වයත් ඇති. දේශපාලනඥයන් විදියට අපි කවුරුත් ඔහුට ඒ ස්වාධීනත්වය රැකගන්න අවශ්‍ය සහාය දිය යුතුයි.

මහ බැංකුව පූර්ණ වශයෙන් ස්වාධීන ආයතනයක් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා නේද?

එවැනි යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ඉදිරියට මේ තනතුරුවලට පත්වන අය කළු ද, සුදු ද කියලා අපට කියන්න බැහැ. ඒ නිසා අප මහ බැංකුව ශක්තිමත් කරන්න පනත් කෙටුම්පතක් සකස් කරමින් සිටිනවා. මහ බැංකුව තවදුරටත් ස්වාධීන හා ශක්තිමත් ආයතනයක් කිරීම අපේ අදහසයි.

පවතින ව්‍යුහය අනුව නිල බලයෙන්ම භාණ්ඩාර ලේකම්වරයා මුදල් මණ්ඩලයේ සාමාජිකයකු වනවා. භාණ්ඩාගාරය රජයේ පිස්කල් ප්‍රතිපත්ති තීරණය කරන තැනයි. මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති තීරණය කිරීම කරනවා. මේ නිසා මහ බැංකුවේ ස්වාධීනත්වයට බාධා වන බවට සමහරු නඟන තර්කය ගැන ඔබේ අදහස කුමක්ද?

මම ඒ අදහස පිළිගන්නේ නැහැ. භාණ්ඩාගාර ලේකම් මුදල් මණ්ඩලයේ සිටිය යුතුයි. මේ ආයතන දෙක අතර අන්තර් සම්බන්ධතාවක් ඇති නොවුණොත් ප්‍රතිපත්ති අතර ඝට්ටනයක් ඇති වෙන්න පුළුවන්. ඔහු එහි සිටියා කියලා ස්වාධීනත්වය නැතිවෙන්නේ නැහැ. ඔහු එහි තවත් එක් සාමාජිකයෙක් පමණයි.

මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේ ඒකාධිකාරී බලය මහ බැංකු අධිපතිවරයාට පැවරීමට එරෙහිවත් සමහර පාර්ශ්ව අදහස් දක්වනවා නේද?

ඇත්ත වශයෙන්ම බැලුවහම මහ බැංකුවට මේ තියෙන බලතල ප්‍රමාණවත්. 1950දි අමෙරිකානු ජාතික ජෝන් ඒක්ස්ටර් මහ බැංකුව නිර්මාණය කිරීමෙදි මේ ස්වාධීනත්වය ගැන ප්‍රමාණික අවධානයක් දක්වා තිබෙනවා. ඒක ඉතාමත් හොඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික නිතීයක්. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. අපි අලුතින් නීතියක් ගෙන එනවා නම් එයින් බලාපොරොත්තු වෙන්නේ එය තවදුරටත් ශක්තිමත් කරන්නයි.

නව අදහස දක්වන්න