මහනුවර පිල ඉදිරියෙන්ම | දිනමිණ

මහනුවර පිල ඉදිරියෙන්ම

  • එල්පීඑල් තරග 5ක් නිමයි
  • කොදෙව්වන්ගෙන් වැඩි දස්කම්

තෙවැනි වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලිය යටතේ මේ වන විට තරග 5ක් නිමා වී තිබේ.

ඒ අනුව සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට වනිඳු හසරංග මෙහෙයවන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්ව ඇති අතර, ඔවුන් ඉහළ දළ ලකුණු වේගයක් (3.925) පවත්වා ගැනීමට සමත්ව ඇත්තේ කලම්බෝ ස්ටාර්ස්ට එරෙහිව ලකුණු 199කින් සහ ගෝල් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් හිමි කර ගනිමිනි.

දෙවැනි ස්ථානය හිමි කර ගෙන සිටින පසුගිය තරගාවලි ද්විත්වයේම ශූරයන් වන තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා කිංග්ස් පිල ද ක්‍රීඩා කළ තරග දෙකම ජය ගෙන තිබුණ ද ඔවුන්ගේ දළ ලකුණු වේගය 1.412කි. ඔවුන් ගෝල් පිල ලකුණු 24කින් සහ දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කළේය.

හම්බන්තොට පැවති මෙවර තරගාවලියේ තරග නිමා කරමින් පෙරේදා පස්වරුවේ දඹුල්ල පිලට එරෙහිව පැවති තරගය ලකුණු 9කින් ජය ගැනීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට කලම්බෝ ස්ටාර්ස් පිල සමත් විය. ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන එම කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් හිමි කර ගත්ත ද පවත්වාගෙන ඇත්තේ ඍණ ලකුණු (-2.500) වේගයකි.

දසුන් ශානකගේ නායකත්වයෙන් තරග කරන දඹුල්ල සහ කුසල් මෙන්ඩිස් මෙහෙයවන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් දෙකම සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව තිබේ. ඒ අනුව දඹුල්ල සහ ගෝල් කණ්ඩායම් පිළිවෙළින් සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසු වෙයි.

මේ අතර මෙතෙක් පැවති තරගවලදී දස්කම් අතින් පෙරමුණ ගැනීමට කැන්ඩි කණ්ඩායමේ ක්‍රීඩකයන් සමත්ව සිටින අතර, එහිදී වැඩිම ලකුණු ලාභියා මෙන්ම වැඩිම කඩුලු ලාභියා ද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් විම විශේෂත්වයකි.

මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ එකම ශතකයට (නොදැවී 102) හිමිකම් කියන ඇන්ඩ්රේ ෆ්ලෙචර් ලකුණු 122ක් රැස් කර ඇති අතර, පිතිකරුවන් අතර දෙවැනි තැන පසුවන එම කණ්ඩායමේම පැතුම් නිශ්ශංක අර්ධ ශතකයක් (71) සමඟ රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 93කි. දඹුල්ල කණ්ඩායමේ ජෝර්ඩන් කොක්ස් ලකුණු 72ක් රැස් කරමින් තෙවැනි තැන පසුවන අතර, නිරෝෂන් දික්වැල්ල (කලම්බෝ) ලකුණු 67ක් සහ කුසල් මෙන්ඩිස් (ගෝල්) ලකුණු 62ක් රැස් කර තිබේ.

කැන්ඩි ෆැල්කන්ස් පිලේ කාලෝස් බ්‍රැත්වේට් තරග 2කදී ලකුණු 36කට කඩුලු 5ක් දවාගෙන පන්දු යවන්නන් අතර, ඉදිරියෙන් සිටී. ඔහු ලකුණු 14කට කඩුලු 4ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම සටහන් කර ඇති අතර, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විජේකාන්ත් වියස්කාන්ත් සහ කැන්ඩි කණ්ඩායමේ වනිඳු හසරංග ද කඩුලු 5 බැගින් දවා ගෙන සිටිති.

විජේකාන්ත් ලකුණු 24කට කඩුලු 3ක් ලෙස හොඳම පන්දු යැවීම සටහන් කළ අතර, හසරංග ලකුණු 14කට කඩුලු 4ක් බිඳ දැම්මේ ත්‍රිත්ව කඩුලු වාර්තාවක් ද සමඟිනි. මේ සමඟ වනිඳු ජාත්‍යන්තර විස්සයි20, එක්දින, දහයයි10 ලීග් සහ විස්සයි20 ලීග් (එල්පීඑල්) තරගාවලිවලදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත් විය. තරගාවලියේ දෙවැනි අදියර අද (10) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, එහිදී 14 වැනිදා දක්වා තරග 9ක් පැවැත්වීමට නියමිතය. 15 වැනිදා කණ්ඩායම් කොළඹ බලා පැමිණෙන අතර, අවසන් අදියර 17 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

 

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න