සහල් ආනයනය නවත්වන්න ජනපති උපදෙස් දුන්නා | දිනමිණ

සහල් ආනයනය නවත්වන්න ජනපති උපදෙස් දුන්නා

සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට උපදෙස් දුන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස පෙරේදා (08) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමන් හමුවූ අවස්ථාවකදී තමන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව එයට අදාළ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට එම අවස්ථාවේම උපදෙස් දුන් බවත් අමරවීර මහතා කියයි. පසුගිය යල කන්නයේදී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේදී මේ වන විටත් වගා කිරීමට ඉලක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර් ලක්ෂ 08න් හෙක්ටෙයාර් 675,600ක් පමණ වගා කිරීමටත් ගොවි ජනතාව කටයුතු කර ඇති බැවින් 2023 වසරේ දී අප රටට සහල් හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නැතැයි ද ඇමැතිවරයා මෙහිදී ජනාධිපතිතුමන්ට පෙන්වා දී ඇත.

2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීම නිසා මෙරට සහල් හිඟයක් ඇති වෙතැයි අනාවැකි පළ වූ නිසා දිගින් දිගටම මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරටට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 675,288කි. ඊට වැය කර ඇති මුදල රු.මි. 73,627කි.

වී අලෙවි මණ්ඩලය මඟින් වී මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 2000ක මුදලක් අනුමත කළ ද රාජ්‍ය බැංකු මඟින් එම මුදල් ලබා ලබා ගැනීමට නොහැකි විය. එමනිසා වී අලෙවි මණ්ඩලය සතු මුදල්වලින් රුපියල් මිලියන 850ක් වැය කර පසුගිය යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 7072ක් මිල දී ගැනීමට කටයුතු කළේය. නමුත් යල කන්නයේ ගොවීන්ට යූරියා පොහොර දීම නිසා අපේක්ෂිත ඉලක්කයට වඩා අස්වැන්නක් ඇතැම් ප්‍රදේශවලින් ලබා ගැනීමට හැකි විය. මේ වන විටත් ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව සතුව කන්න තුනක වී අස්වැන්න ඇති බව ද වාර්තා වේ. එමනිසා තවදුරටත් සහල් ආනයනය කිරීම මඟින් ගොවි ජනතාවගේ වී අස්වැන්න අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී තිබේ.

 

බුද්ධිකා ඉඹුලාන

නව අදහස දක්වන්න