හිජාබයෙන් ආණ්ඩුවට තොණ්ඩු දාන ඉරාන තරුණියෝ | දිනමිණ

හිජාබයෙන් ආණ්ඩුවට තොණ්ඩු දාන ඉරාන තරුණියෝ

වර්තමානය වන විට ලෝකයේ දේශපාලන ක්‍රියාවලිය මෙන්ම අනෙකුත් සාමාජීය සිදු වීම්ද නොයෙක් ආකාරයේ වෙනස් වීම්වලට ලක්වෙමින් තිබේ. විටෙක දේශපාලනමය කටයුතු නව පෙරළිවලට ලක් වෙමින් තිබේ. එමෙන්ම ඊට ප්‍රතිවිරුද්ධව ජනතා නැඟිටීම්ද ලෝක‍ෙය් බොහෝ රටවලින් අසන්නට මෙන්ම දකින්නට ද ලැබේ. මෑතකදී දක්නට ලැබුණු ජනප්‍රියතම පුවත වන්නේ ඉරානයේ සිදු වූ ජනතා නැඟිටීමයි. එය විශේෂිත ප්‍රවෘත්තියක් වන්නේ ඉරානය වැනි දැඩි ආගමික සංස්කෘතියක් පවතින රටක ඒ සියල්ල පසෙකලා මහජන නැඟිටීමය. වඩාත් වැදගත්ම කරුණ වන්නේ මේ සඳහා මුලින්ම කාන්තාවන් ඉදිරිපත් වීමත් සමඟ එය ස්ත්‍රීවාදී ස්වභාවයක් ගත් නමුත් පසුව එයට විවිධ පන්තීන් මෙන්ම වාර්ගික පුරවැසියන් එක් රොක් වීමක් දක්නට ලැබීමය.

මේ වන විට මෙම උද්ඝෝෂණ සඳහා සති 12ක පමණ කාලයක් ඉක්මගොස් තිබේ. ඉරානය වැනි දැඩි ආගමික මතධාරීන් සිටින්නා වූ රටක මෙවන් විප්ලවයක් ‍රෝපණය වන්නට හේතුවූ කරුණ වන්නේ පසුගිය සැප්තැම්බර් 16 වැනි දින කුර්දි ජාතික තරුණියක් වන Mahsa Amini ටෙහෙරානයේ සදාචාරාත්මක පොලිසිය (Morality Police) විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මියයාමයි.

ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසන්නේ හිජාබය පැලඳීමේ නීතිය කඩකළ බවට චෝදනා නඟමින් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණියක වන Mahsa Amini මියගොස් ඇති බවයි. මේ හා සමඟම රට තුළ විප්ලවකාරී උද්ඝෝෂණ රැල්ලක් ව්‍යාප්ත වූ අතර, මේ නිසා අත්අඩංගුවට පත් වූ මෙන්ම ඝාතනය වූ සංඛ්‍යාවද සුළුපටු නොවේ.

Mahsa Amini මියයෑමෙන් පසු

Mahsa පොලිස් අත්අඩංගුවට ගෙන මියයෑමෙන් පසු ඇති වූ උද්ඝෝෂණවලදී මේ වන විට 450ක් පමණ මියගොස් ඇති අතර, 17000ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මීට පෙර ඉරානය තුළ විරෝධතා සියල්ලම පාහේ පැවතියේ එකල පවතින ආර්ථික තත්ත්වයන් මුල්කර ගනිමිනි. එහෙත් පසුගිය සැප්තැම්බරයේ සිට එය නව මුහුණුවරක් ගැනීමට සමත් වූයේ මෙම සිදු වීමත් සමඟයි. මින් පෙර නොදුටු අයුරින් කාන්තාවන්, විශේෂයෙන් තරුණියන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණ හා සම්බන්ධ වීම වර්තමානයේ දක්නට ලැබෙන සුලභ කරුණක්ව හමාරය. ඔවුන්ගේ සියලු සටන් පාඨ තුළ අන්තර්ගත වූයේ කාන්තාව, ජීවිතය, නිදහස යන්නයි. මේ වන විට මියගොස් ඇති අය අතුරින් කාන්තාවන් 29 දෙනකු පමණ ද ඝාතනය වී ඇති බව සඳහන්ය.

ඝාතනය වූ කාන්තාවන් අතර සරීනා එස්මයිල්සාදේ සහ 16 හැවිරිදි සරීනා ඝාතනය කරන ලද්දේ ටෙහෙරාන් අගනුවර සහ ඒ අවට ප්‍රදේශයකදී වන අතර, බටහිර ඉරානයේ කර්මන්ෂාහි සහ මිනු මජිඩිද ඝාතනය කර තිබුණේ උද්ඝෝෂණය ආරම්භ වූ මුල්ම අවදියේදීයි. තවද, මුගුයි ඝාතනය කර තිබුණේ මධ්‍යම ඉරානයේදී වන අතර, You tube ක්‍රියාකාරිනියක් ද මියගිය අය අතර සිටි බව මානව හිමිකම් කණ්ඩායම් පවසයි. ඇය මියගොස් ඇත්තේ පසුගිය සැප්තැම්බර් 23දා සන්නද්ධ ආරක්ෂක අංශ විසින් බැටන් පොලුවලින් පහර දීමෙන් පසුවය.

ඉරානය තුළ තොරතුරු වාරණය

ඉරානයේ වර්තමාන තත්ත්වය වසන් කිරීමේ අරමුණින් ජාත්‍යන්තරයට තොරතුරු ගලායාම අවහිර කිරීමට මේ මොහොත වන විට ඉරාන බලධාරීන් උත්සාහ ගනිමින් සිටී. ඔවුන් තොරතුරු එකිනෙකා වෙත හුවමාරු වීම වළක්වනු පිණිස නිරන්තරයෙන් අන්තර්ජාලය වාරණය කරනු ලබන අතර, එසේ නැතහොත් එය අඩපණ කිරීමට උත්සාහ ගනු ලබයි. එමෙන්ම රජයට විරුද්ධව ඉදිරිපත් කෙරුන කරුණු සලකාබලා මාධ්‍යවේදීන්ට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කරයි. උද්ඝෝෂණ ආරම්භක සමයේදීම මාධ්‍යවේදීන් 24 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කරන්නේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය විසිනි.

එහෙත් ඉරාන මාධ්‍යවේදීන් මෙන්ම විදෙස් මාධ්‍යවේදීන් මේ සියල්ල අභිමුව මියගිය අය පිළිබඳ තොරතුරු සෙවීමත් අත්අඩංගුවට ගත් අය සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනයක් පවත්වාගෙන යෑමට කටයුතු කරනු ලබයි. පසුගිය සැප්තැම්බර් 30 වැනිදා බලුකිස්තාන් පළාතේදී ළමයින් පිරිසක් ඝාතනය කළ අතර ඉන් මියගිය ළාබාලතම දරුවා වූයේ 12 හැවිරිදි මොහොමඩ් රක්ෂානිය. මෙහිදී අවුරුදු 16 දක්වා දරුවන් ඝාතනය විය. මේ සම්බන්ධව ද ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඉරාන බලධාරීන්ට චෝදනා එල්ල කළහ.

ඉරාන තරුණියෝ

මෙම වසරේ සැප්තැම්බර් මාසයට පෙර දැඩි ආගමික මතධාරින් සිටින ඉරානයේ තරුණියන් ජීවත් ව‍ූයේ ඔවුන්ගේ ආගමික චාරිත්‍රයන්ට අනුකූලවය. 1979දී ඉස්ලාමීය ජන රජය පිහිටුවීමත් සමඟ එය ඒ ආකාරයෙන් සිදු විය. ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් පවා තීරණය වූයේ තමන්ට අවශ්‍ය ආකාරයට නොවේ. විශේෂයෙන් 2006 වසරේදී ඉස්ලාමීය ඇඳුම් සම්බන්ධව අවධානය යොමු කරමින් කාන්තාවන් සිරුර වැසෙන ආකාරයට ඇඳුම් ඇඳිය යුතු බවත් නවීන විලාසිතාවන්ගේ ඇඳුම් පැලඳුම් තහනම් වූ අතර, කොට කලිසම් ඇඳීමද තහනම් කරන ලදි.

එහෙත් මේ සියල්ල කණපිට හැරුණේ සැප්තැම්බර් මාසයෙන් පසුවය. මේ වන විට තමන්ගේ හිස් ආවරණය වූ හිජාබය ප්‍රතික්ෂේප කරමින් තරුණියෝ සහ පාසල් සිසුවියන් ඉරානය පුරා තම පාසල් ස්ථානවල මෙන්ම වීදිවලද එය පුලුස්සා දමමින් සිටිති. වර්තමානයේදී කාන්තාවන් හිස පැලඳිය යුතු අනිවාර්ය අංගය වන හිජාබය දැන් ඔවුනට අවශ්‍යතාවයක් නැත. උද්ඝෝෂණ ආරම්භයේ සිට කාන්තාවන් හිජාබය නොමැතිව පළමු වතාවට ඉරානයේ රට පුරා වීදිවල උද්ඝෝෂණය කරන්නට විය. මේ කාන්තා පිබිදීමත් සමඟ කෙටි කලකට පසු ඒ හා එක්වූයේ පාසල් වියේ සිසුවියන් සමඟ තරුණියන්ය. මේ නව යොවුන් වියේ තරුණියන්ගේ එක්වීමත් සමඟින් ඉරානය පුරා එය රැල්ලක් මෙන් දියත් විය. Mahsa ගේ ඝාතනයත් සමඟ හිජාබයට විරුද්ධ වූ ඔවුන්ට තවත් ඒ හා සබැඳි ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සෙවීමේ අවශ්‍යතාවය මතුවිය. මේ සමඟම ඔවුන්ගේ විවාහ අපේක්ෂාවන් සහ තමන්ගේ ජීවිතයට ළඟාකර ගැනීමට නොහැකිවූ අපේක්ෂාවන් වෙනුවෙන් සටන්කරන්නට විය. අවසානයේ ඔවුන් අවබෝධ කරගනු ලැබුවේ තමාට ලෝකයට ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ අහුරා දමා ඇති බවයි.

කෙසේ වුවද මේ වන විට ඉරාන තරුණියන් ආරම්භ කර ඇති ඉතිහාසගත උද්ඝෝෂණය කවර බාධක ආවද ඔවුන් විසින් අතරමඟ නවතා දමන ආකාරයක්ද පෙන්නුම් නොකරයි. මේ වන විට ඔවුන් වටා විවිධ ක්ෂේත්‍රයන්හි සිටින්නෝ ද එක් රොක්වෙමින් සිටී.මෙහි අවසානය කවරාකාර හැඩයක් ගනු ලබන්නේද යන්න දන්නේ ඔවුන් විශ්වාස කරන දෙවියන් පමණි.

රජිත බස්නායක

 

නව අදහස දක්වන්න