දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය නඩු භාණ්ඩ රස පරීක්ෂකට | දිනමිණ

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය නඩු භාණ්ඩ රස පරීක්ෂකට

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන සිද්ධියට අදාළ නඩු භාණ්ඩ කිහිපයක් රජයේ රස පරීක්ෂක වෙත යවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (23) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඊයේ (23) කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය සිදු කළාය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සාක්කි විමසීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය හමුවේ ඊයේ හතරවන දිනටත් පැවැත්වුණු අතර, එහි සාක්කි විභාගය මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ පැවැත්විණ. පැයකට අධික කාලයක් මෙම සාක්කි විභාගය නිල මැදිරිය තුළ විභාගයට ගත් අතර, ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සෙහොයුරෙකු වන ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා අධිකරණය හමුවේ සාක්කි ලබා දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම බොරැල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

සිද්ධියට අදාළව සමාගම් අධ්‍යක්ෂකවරයෙකු වන ක්‍රිෂ් පෙරේරා හා මරණකරුගේ බිරිඳ වන ටානියා ෂර්මන් ෂාෆ්ටර්, බොරැල්ල පොලිසිය විමර්ශන නිලධාරි, බොරැල්ල කනත්ත සේවකයින් දෙදෙනා, දිනේෂ් ෂාෆ්ටර් යන අය ඉකුත් දිනයන්හි මහේස්ත්‍රාත් නිල මැදිරිය හමුවේ සාක්කි ලබා දී තිබිණ.

සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිලධාරිවරයාගේ සාක්කි විමසීම ලබන 8 වන දින කැඳවීමට නියමිතය.

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භුමිය වෙත ගෙන්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව බාර දී ඇති අතර, මෙම මරණය ඝාතනයක් ද? නැත්නම් සියදිවි නසා ගැනීමක් ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

බොරැල්ල පොලිසිය විසින් ඝාතන ස්ථානයේ තිබී සොයා ගත් වයර් කැබැල්ල, ලේ තැවරුණු රෙදි, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ නියපොතු, ලේ සාම්පල් මෙන්ම සොකෝ නිලධාරින් විසින් සොයා ගත් ස්ථානීය සාක්කි හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයෙන් අනතුරුව සොයා ගත් ස්ථානීය සාක්කි කිහිපයක් රස පරීක්ෂක වෙත යොමු කර රස පරීක්ෂක වාර්තාවක් මෙන්ම ඩී. එන්. ඒ. වාර්තාවක් කැඳවන ලෙසට ඉකුත් 2 වන දින අධිකරණ නියෝග නිකුත් කර තිබිණ.

ඉකුත් 15 වන දින ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ 7 මල්පාරේ සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගෙන්වා මෝටර් රථය තුළ දී වයරයකින් ගෙල සිරකර මෙසේ ඝාතනය කර තිබෙන බවට බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මරණකරුගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියහ.

සිරන්ජනි කුමාරි

නව අදහස දක්වන්න