ජාතික ජන බලවේගය රට තුළ නැවත භීෂණයක් ඇති කිරීමට උත්සාහ දරනවා | දිනමිණ

ජාතික ජන බලවේගය රට තුළ නැවත භීෂණයක් ඇති කිරීමට උත්සාහ දරනවා

අනුර කුමාරගේ ප්‍රකාශයට එරෙහිව විද්වත්හු මෙසේ කියති

මැතිවරණයට බාධා කරන අය අවුරුදු 3ක් හිර කරන්න ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කරන ලද ප්‍රකාශය විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන හා රාජ්‍ය පරිපාලන ලේකම් නීල් හපුහින්න මහත්වරුන්ට තර්ජනය වන පරිදි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය මෙසේය.

භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා ඡන්දයට සල්ලි දෙන්න. දැන් පුළුවන්ද භාණ්ඩාගාර ලේකම්ට සල්ලි නොදී ඉන්න. මතක තබා ගන්න භාණ්ඩාගාර ලේකම් සල්ලි නොදී ඉන්නවා නම් එය මැතිවරණයට හිතාමතාම කරන ලද බාධාවක්. මැතිවරණයට හිතාමතා බාධාවක් ඇති කළොත් අවුරුදු තුනක් හිරේ. මතක තියා ගන්න සිරිවර්ධන මහත්තයා. නීල් හපුහින්න ඇරියානේ ලියුමක් දිසාපතිවරුන්ට ඇප මුදල් භාරගන්න එපා කියලා, ඡන්දයට බාධා කිරීමක්. හරියට නඩු අහනවා, මතක තබා ගන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඇතුලේ අවුරුදු තුනක් හිරේ. ජනතාවගේ ඇත්ත කැමැත්ත ඡන්දයක් කරා ප්‍රකාශයට පත්කිරීමේ අයිතිය දෙන්න ඕනෑ. එම අයිතිය නොදුන්නොත් මොකද වෙන්නෙ? ජනතාව වෙන ආකාරයට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න යනවා.

මේ සම්බන්ධයෙන් විද්වත්හු මෙසේ කියති.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවණයක් සඳහා දින නියම කළ අවස්ථාවේ නායකයෙක්ට සුදුසු නොවන අයුරින් වියරුවකින් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා. ජනතා හැඟීම් සඳහා කතා කරමින් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමට ඔහු ගන්නා උත්සාහය කනගාටුදායකයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට පැන කටයුතු කිරීම වැරැදියි. පසුගිය දිනවල අනුර කුමාර දිසානායක මහතා කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට සිට ගෙනයි. ජනාධිපතිවරයා එළවන්න, රාජ්‍ය නිලධාරින් සිරගත කරන්න කියමින් විටින විට ප්‍රකාශ නිකුත් කළා. එලෙස ප්‍රකාශ සිදු කරන ඔහු නියෝජනය කරන පක්ෂය 88-89 කාලයේ කටයුතු කළ ආකාරය ජනතාව දන්නවා. ජනතාවට මැතිවරණ ප්‍රතික්ෂේප කරන්න කියලා දුන්නේ භීෂණය මතු කළ ඔහුගේ පක්ෂයයි. මේ අය මැතිවරණය ගැන කනගාටුදායක ප්‍රකාශ නිකුත් කරනවා. 8000ක පමණ පිරිසක් සිටින පක්ෂයක මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම සුදුසු වන්නේ නැහැ. රට වෙනස් කරන්න කියා නීති විරෝධී ක්‍රියා කරන්න බැහැ. මේ අය ජනතා හැඟීමට කතා කරමින් ජනතාව මුළා කරනවා. මීට ටික දිනකට එරෙහිව පාර්ලිමේන්තුව වටලන්න කටයුතු කළ අය තවමත් නිදැල්ලේ ඉන්නේ. ඒ අයට එරෙහිව පළමුව අනුර කුමාර දිසානායක මහතා පියවර ගන්න ඕනෑ. බලය ලබා ගන්න ඕනෑම දෙයක් කරලා හරියන්නේ නැහැ. දරිද්‍රතාවයෙන් යම් ප්‍රමාණයකට මිදී ඉදිරියට යන අවස්ථාවේ මැතිවරණයක් පවත්වා කන්න බොන්න වියදම් කිරීමෙන් පලක් නැහැ. නායකයෙක් ලෙස කටයුතු කරනවා විනා වියරුවෙන් මෙන් කතා කරමින් ජනතා හැඟීම් සමඟ කටයුතු කිරීම සුදුසු නැහැ.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා -

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු ආර්ථික වාතාවරණයක් රටේ නොමැති බව කාටත් පැහැදිලිව පෙනෙන්නට තිබිය දී ජනතා විමුක්ති පෙරමුණට එය නොපෙනෙන්නේ ඔවුන් සෑම අවස්ථාවකදීම වැඩපිළිවෙළක් නොමැතිව අර්බුද තුළින් බලයට ඒමට උත්සාහ කරන නිසායි. ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම මඟින් සිදු වන්නේ මේ අවස්ථාවේ වැඩි බලයක් තිබෙන්නේ කොයි පක්ෂයටද කියා යම් තක්සේරුවක් කර ගැනීමට පසුබිම සැකසීම මිස එමඟින් ජනතාවට අත්වන සුගතියක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ සාමාන්‍ය ස්වරූපය ඔවුන්ගේ අනුගාමිකයන් ලෙස කටයුතු කරන ශිෂ්‍ය ව්‍යාපාරවල ක්‍රියාකාරීන්ගේ හැසිරීම් තුළින් පැහැදිලිව තහවුරු කර ගැනීමට හැකියි. මේ බැරෑරුම් අවස්ථාවේ මැතිවරණයකට විශාල මුදලක් වැය කිරීම මඟින් පවතින අර්බුද තවත් තීව්‍ර වෙනවා. පක්ෂවලට තමන්ගේ ඡන්ද පදනම බලා ගැනීම සඳහා බිලියන ගණන් මහජන මුදල් වැය කිරීමට මෙය සුදුසු අවස්ථාවක් නොවන බැවින් ඒ සඳහා තවත් පොඩි කාලයක් ඉවසන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මැතිවරණයක් ඉල්ලන සියලු පක්ෂවලින් ඉල්ලා සිටිනවා. මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බල කිරීම කරනු වෙනුවට තම තමන්ගේ පක්ෂ සංවිධානය කර ගනිමින් මහ මැතිවරණය පැමිණි කල ඊට හොඳින් මුහුණ දීම දේශපාලන පක්ෂවල මෙන්ම ඒවාහි නායකයන්ගේ ද වගකීම ද වෙනවා.

 

ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් රාමචන්ද්‍ර කුරුක්කල් බාබු ශර්මාතුමා -

වසර 88 - 89දී ඡන්දය දැමීමට ගිය ඡන්ද දායකයන් බිය වද්දමින් මරණ තර්ජනය කරමින් ජනතාවට ඡන්ද අයිතිය අහිමි කළ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට දැන් ඡන්දය ගැන කතා කිරීමට අයිතියක් නැහැ. එදා ඡන්දය දැමීමට යන පළමු පස් දෙනා මරා දානවා යැයි කියමින්, ජනතාවගේ හැඳුනුම්පත් එකතු කරමින් ඡන්ද අයිතීන් නැති කළේ මේ අයයි. දැන් ඔවුන් උත්සහ කරන්නේ ජනතාවට බොරු ප්‍රචාර කරමින් නැති ප්‍රශ්න ඇති කිරීමටයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව කිසිදා ජනතාවගේ ඡන්ද අයිතිය හෝ අනෙකුත් අයිතිවාසිකම් නැති කරන්නේ නැහැ. ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේද ජනතාවගේ අයිතිවාසිකම් තව තවත් ලබා දෙමින් ජනතාවට නිදහසේ ජීවත් විය හැකි රටක් ගොඩනැඟීමයි. ජනාධිපතිවරයා තෛපොංගල් දින යාපනයේදී කියා සිටියේ, කිසිදු බේදයකින් තොරව සියලු ජනතාවගේ අයිතීන් ලබා දෙමින් සියලු ආර්ථික දුෂ්කරතා නැති කරමින් සැමට සතුටින් ජීවත් විය හැකි රටක් ගොඩනැඟීම ගැනයි. නමුත් මේ අවස්ථාවේ ජනතාවට වැඩියෙන්ම අවශ්‍ය වන්නේ ආර්ථික දුෂ්කරතා මග හරවා ගනිමින් ප්‍රධාන අවශ්‍යතාවයන් සපුරා ගැනීමයි.

 

සමඟි ජන බලවේගයේ රඹුක්කන ආසනයේ ප්‍රධාන සංවිධායක, ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක නීතිවේදී ආචාර්ය අජිත් සෙනෙවිරත්න මහතා -

එදා මහජනතාවට ශාරීරික වධ හිංසා සහ මරණ තර්ජන සිදු කරමින් ඡන්ද අයිතිය අමු අමුවේ උල්ලංඝනය කළ උදවිය අද මැතිවරණ ඉල්ලා කෑ මොර දීම පිළිකුලින් යුතුව හෙළා දකිනවා. මීට දශක දෙකහමාරකට පෙර ඡන්ද අයිතිය ජනතාවගෙන් උදුරා ගැනීමට පිරිසක් කටයුතු කරයි. ඔවුන් පළමුව ඡන්දය දෙන දහදෙනාගේ අත්පා කපා වධ හිංසා පමුණු වීමට ක්‍රියා කළා.

එදා මැතිවරණය පැවැත් වීමට බාධා කරමින් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගත් පිරිස් අද මැතිවරණයක් ඉල්ලා මහ හයියෙන් කෑ මොර දෙනවා. ජනතාව පෙලඹ වීමට ක්‍රියා කරනවා. මැතිවරණ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක්. මේ වන විට ස්වාධීන මැතිවරණ කොමිසමක් ක්‍රියාත්මකයි. ඔවුන්ගේ වගකීමක් නිසි කලට මැතිවරණ පැවැත් වීමට ක්‍රියා කිරීමයි. එසේ මැතිවරණ පැවැත් වීමට කටයුතු කළ යුතු නීතිමය බලධාරීන් සිටියදී ඉන් පිටත සිට මැතිවරණ සම්බන්ධයෙන් කෑ මොර දීම අප අනුමත කරන්නේ නෑ.

අද දවසේ මැතිවරණ පැවැත් වීමට බාධා කරන නිලධාරීන්ට තම ආණ්ඩුවක් යටතේ දඬුවම් පමුණුවන බවට ජාතික ජනබලවේගයේ නායක පවසා තිබෙනවා. ඔවුන් දඬුවම් පමුණු වන්නේ මීට පෙර පළමු ඡන්දය ලබා දීමට ඡන්ද පොළට ගිය ගමේ අහිංසක පුරවැසියන්ට ලබාදුන් දඬුවම් ආකාරයෙන් ද කියා අප විමසා සිටිනවා.

ඡන්ද අයිතිය සුරැකීමට ක්‍රියා කරන මුවාවෙන් තමන්ගේ පටු දේශපාලන වාසි තකා මේ මොහොතේ මැතිවරණ ඉල්ලා බලපෑම් කිරීම අපි අනුමත කරන්නේ නෑ. නමුත් මැතිවරණයක් පැවැත් වීමට ඒ තුළින් ජනතාවගේ මතය කුමක් දැයි හෙළි කර‍ ගැනීමට අවස්ථාවක් ලබා දීමට නම් බලධාරීන් කටයුතු කළ යුතුමයි.

 

 

 

ජයසිරි මුණසිංහ, සුභාෂිණි සේනානායක,

අනුර ප්‍රේමලාල්,

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න