පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ විට මෛත්‍රී ආවේ ගුවන් යානා තුනක් මඟ හැරලා | දිනමිණ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ විට මෛත්‍රී ආවේ ගුවන් යානා තුනක් මඟ හැරලා

ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන විට සිංගප්පූරුවේ සිටි එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙරටට වහාම පැමිණීම සඳහා ගුවන් යානා තුනක් තිබූ නමුත් ඒ සඳහා ඔහු උනන්දුවක් දක්වා නැතැයි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අභියාචනාධිකරණයේදී ඊයේ (23) සඳහන් කළේය.

පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස තමන්ට නියෝග කරමින් නිකුත් කර ඇති සිතාසිය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව කීය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ ගරු සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කරුණු ඉදිරිපත් කළේය.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සියල්ල සැලකිල්ලට ගෙන කොටුව මහේස්ත්‍රාත්වරයා අදාළ සිතාසිය නිකුත් කර ඇති බව ඒ මහතා කීය. තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු වාර්තා සියල්ල මෛත්‍රීපාල සිරිසේන මහතාට දුන් බවට නිලන්ත ජයවර්ධන මහතා පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දී ඇති බව ද ඒ මහතා කීය.

ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ සැණින් මෙරටට පැමිණීමද හිටපු ජනාධිපතිවරයා පැහැර හැර ඇති බව එහිදී අනාවරණය වී ඇතැයි කී ඒ මහතා ඒ සියල්ල අදාළ කොමිසම් වාර්තාවෙහි සඳහන් වන බවද පෙන්වා දුන්නේය.

එම තොරතුරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන් අපේක්ෂා කළ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඒ සඳහා නිලන්ත ජයවර්ධන සහ හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන අයගේ නම්ද ඇතුළත් සාක්ෂි ලැයිස්තුවක් ඉදිරිපත් කළ බවද ඒ මහතා කීය.

එම කොමිසමේ වාර්තා මත පදනම්ව කළ පැමිණිල්ලකට අනුව ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම කරමින් නිකුත් කර ඇති සිතාසිය නීත්‍යනුකූල බව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සඳහන් කළේය. මහේස්ත්‍රාත්වරයකු හමුවේ යම් පුද්ගලයකු කරන වාචික පැමිණිල්ලක් පවා සැලකිල්ලට ගෙන එලෙස සිතාසියක් නිකුත් කිරීමේ හැකියාව ඇති බව ඒ මහතා කීය.

අදාළ පැමිණිල්ල, පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව මත පදනම්ව කර ඇති අතර විනිසුරුවරුන්ගෙන් ද සමන්විත එම කොමිසමේ වාර්තාව සාක්ෂියක් ලෙස පිළිගත නොහැකි බවට පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු දැක්වීම වැරදි බව ඒ මහතා කීය. පුද්ගලික පැමිණිල්ලක් මත කළ පැමිණිල්ලක් මත මෙම සිතාසිය නිකුත් කර ඇති බැවින් එය නීති විරෝධී බවට ප්‍රකාශ කළ නොහැකි යැයි ඒ මහතා කීය.

එසේම පුද්ගලික පැමිණිල්ලක් යන්න සම්බන්ධයෙන් ඉදිරිපත් වන නීතිමය කරුණු සඳහා මාලනී ගුණරත්න එදිරිව අබේසිංහ යන අභියාචනාධිකරණ නඩු තීන්දුව අදාළ කර ගත හැකි අතර ඒ පිළිබඳ සලකා බැලීම පූර්ණ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බලන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.

ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා පෙත්සම මෙම 26 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා සහ එම ත්‍රස්ත ප්‍රහාරයට ලක් ව තුවාල ලැබූ ජේසු දාසන් නඩේෂන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අපරාධ චෝදනා යටතේ සැකකරුවකු ලෙස නම් කරන ලෙස එමඟින් ඉල්ලා තිබුණි.

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් ඔක්තෝබර් මස 14 වැනිදා පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කරමින් සිතාසි නිකුත් කළේය.

එම සිතාසිය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ‍යට ගොනු කළේ ඉන් අනතුරුවය.

මීට පෙර මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පසුගිය ඔක්තෝබර් මස 14 වැනිදා එය විභාගයට ගැනීමට තීරණය කළේය.

පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ චෝදනා මත සිදු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම සති දහයකට කල් තබන ලෙස අභියාචනාධිකරණය එදින කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට නියෝග කළේය.

මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තමන්ට නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු ජනාධිපතිවරයා මෙම පෙත්සම මඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සහ එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා සහ නීතිඥ කීර්ති තිලකරත්න මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ.

අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටියේය.

නෙල්කා මැදගෙදර

නව අදහස දක්වන්න