කොටස් වෙළෙඳපොළ ඉහළ යයි | දිනමිණ

කොටස් වෙළෙඳපොළ ඉහළ යයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව හිමිවීමත් සමඟ ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ යාම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබේ.

ඊයේ (23) දිනය නිමා වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමක පැවති අතර පිරිවැටුම මෙන්ම මිල ගණන් ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. ඉන්දියාව හා චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟතාව දැක්වීම හේතුවෙන් ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වී තිබෙන අතර මේ හේතුවෙන් කොටස් වෙළෙඳපොළේ ක්‍රියාකාරිත්වය ද ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඊයේ (23) දිනය නිමාවට පත්වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය ඒකක 272.64ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 8,990.79ක් වාර්තා වී තිබෙන අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 3.13ක ඉහළ යාමකි.

ඊට අමතරව S&P SL20 මිල දර්ශකය ඒකක 94.72ක ඉහළ යාමක් වාර්තා කරමින් ඒකක 2,818.94ක අගයක් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 3.48ක ඉහළ යාමක් බවද දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 2.09ක් ලෙස සටහන් වූ බවද කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න