එංගලන්ත ලයන්ස්ට එරෙහි තුන්දින පුහුණු තරගය අද ඇරඹේ | දිනමිණ

එංගලන්ත ලයන්ස්ට එරෙහි තුන්දින පුහුණු තරගය අද ඇරඹේ

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරගය අද (25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මේ තරගය සඳහා එක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේට හිමිව තිබේ.

සහන් පසුගිය සතියේ ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ මහනුවර කණ්ඩායම නියෝජනය කරන අතර, කණ්ඩායමේ නායකයා ලෙස නම් කළ නිරෝෂන් දික්වැල්ල පළමු තරගයට ක්‍රීඩා නොකිරීම හේතුවෙන් සහන් නායකත්වය දෙමින් කණ්ඩායම ඉනිමක ජයග්‍රහණය කරා මෙහෙයවීය.

ක්‍රීඩකයන් 13 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයට නවකයක් රැසක් ඇතුළත්ව ඇති අතර, ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගත් ක්‍රීඩකයන් එක්ව ඇත්තේ දෙදෙනකු පමණි. ඒ දුනිත් වෙල්ලාලගේ සහ ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් දිනා ඇති ජනිත් ලියනගේය. මේ ක්‍රීඩකයන් අතුරින් 11 දෙනකු එන්එස්එල් තරගාවලියට ද ක්‍රීඩා කරන අතර, ඉසිත විජේසුන්දර සහ දුෂාන් හේමන්ත පමණක් එම තරගාවලියට නම් කර නැත.

මේ පුහුණු තරගයෙන් අනතුරුව එංගලන්ත ලයන්ස් පිල ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමඟින් තරග දෙකකින් සමන්විත සිවුදින තරගාවලියකට සහ එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතය. සිවුදින තරග දෙක මේ මස 31 සහ ලබන මස 7 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, එක්දින තරගාවලිය ලබන මස 15, 18 සහ 21 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම‍ - සහන් ආරච්චිගේ (නායක), ලසිත් කෲස්පුල්ලේ, ළහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර, අවිශ්ක තරිඳු, ජනිත් ලියනගේ, නිමේෂ් විමුක්ති, ඉසිත විජේසුන්දර, කවිඳු පතිරත්න, දුෂාන් හේමන්ත, නිම්සර අතරගල්ල, දුනිත් වෙල්ලාලගේ, නිශාන් මදුශ්ක.

 

නව අදහස දක්වන්න