වසරේ එක්දින සහ ටෙස්ට් කණ්ඩායම්වල ශ්‍රී ලාංකිකයන් නෑ | දිනමිණ

වසරේ එක්දින සහ ටෙස්ට් කණ්ඩායම්වල ශ්‍රී ලාංකිකයන් නෑ

නිරෝෂාන් ප්‍රියංකර

ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් 2022 වසරේ අයිසීසී එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් ඊයේ නිවේදනය කළේය.

පසුගිය වසරේ ජගත් ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් මත ක්‍රීඩකයන් 11 දෙනකු බැගින් එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් සඳහා නම් කර ඇති අතර, එම කණ්ඩායම් දෙකටම කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ඇතුළත්ව නැත.

පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම්ට එක්දින කණ්ඩායමේත් නායකත්වය හිමිව ඇති අතර, එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත. එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් අතරට ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු බැගින් ඇතුළත්ව ඇති අතර, පාකිස්තානය, බංග්ලදේශය සහ සිම්බාබ්වේ ක්‍රීඩකයකු බැගින් නම් කර තිබේ. සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසා අයිසීසී විස්සයි20 සහ එක්දින කණ්ඩායම දෙකටම ද පාකිස්තානයේ බාබර් අසාම් එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් දෙකටම ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

වසරේ ටෙස්ට් කණ්ඩායමට ඔස්ට්‍රේලියානුවන් සිව්දෙනෙක්, එංගලන්තයෙන් තිදෙනෙක් සමඟ පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයකු බැගින් ඇතුළත්ව සිටිති.

අයිසීසී වසරේ එක්දින කණ්ඩායම: බාබර් අසාම් - නායක, ට්‍රෙවිස් හෙඩ්, ෂායි හෝප්, ශ්‍රේයාස් අයියර්, ටොම් ලැතම්, සිකන්දර් රාසා, මෙහෙදි හසන්, අල්සාරි ජෝසප්, මොහොමඩ් සිරාජ්, ට්‍රෙන්ට් බෝල්ට් සහ ඇඩම් සම්පා.

අයිසීසී වසරේ ටෙස්ට් කණ්ඩායම: බෙන් ස්ටොක්ස් - නායක, ක්‍රේග් බ්‍රැත්වෙයිට්, මානස් ලැබුෂ්චේන්, බාබර් අසාම්, ජොනි බෙයාර්ස්ටෝව්, රිෂාබ් පාන්ට්, පැට් කමින්ස්, කගීසෝ රබාඩා, නේදන් ලයන් සහ ජෙම්ස් ඇන්ඩර්සන්.

 

නව අදහස දක්වන්න