නව බදු ඉවත් කළොත් IMF සහන කොටඋඩ | දිනමිණ

නව බදු ඉවත් කළොත් IMF සහන කොටඋඩ

නුවන් කොඩිකාර

පනවා ඇති නව බදු ඉවත් කළහොත් හෝ අඩු කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමට නොහැකි වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. රුපියල් 45,000කට වැඩි මාසික ආදායමක් ලබන අයගෙන් බදු අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබුණද රුපියල් ලක්ෂය දක්වා ආදායම් ලබන අය බදුවලින් නිදහස් කර ඇත්තේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව බව ඇමැතිවරයා සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමට නොහැකි වුණොත් රට සති දෙකකට වඩා පවත්වාගෙන යා නොහැකි බව පැවසූ ඇමැතිවරයා එසේ කළ හැකි ක්‍රමයක් කවුරුන් හෝ කියන්නේ නම් ඊට කන් දීමට සූදානම් බවද කීවේය. දේශපාලන පක්ෂ වශයෙන් මැතිවරණයට සූදානමින් සිටින නමුත් රට තුළ අභියෝගාත්මක තත්ත්වයක් පවතින බව පැවසූ ඇමැතිවරයා මැතිවරණ අපේක්ෂකයන්ට වැඩිපුර ඉන්ධන දිය නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න