බස් රියැදුරු බෝතලයක් කඩා කළ පහර දීමෙන් කොන්දොස්තර මරුට | දිනමිණ

බස් රියැදුරු බෝතලයක් කඩා කළ පහර දීමෙන් කොන්දොස්තර මරුට

පැමිණිල්ල කරන්න ලේ පෙරාගෙන කටුනායක පොලිසියටත් ඇවිත්

මොනරාගල හා කටුනායක අතර ධාවනය වන මොනරාගල ඩිපෝවට අයත් ලංගම බස් රථයක රියැදුරකු සහ කොන්දොස්තරවරයකු අතර ඇති වූ ගැටුමක් දුරදිග ගොස් රියැදුරු විසින් මත්පැන් බෝතලයක් බිඳ එයින් කළ පහරදීමකින් කොන්දොස්තරවරයා මියගොස් ඇත. මේ පහරදීම සිදුව ඇත්තේ ඔවුන් දෙදෙනා මොනරාගල සිට පැමිණ ඊළඟ ගමන් වාරය යෑමට සූදානම් වනතුරු නවාතැන් ගෙන සිටින කටුනායක පිහිටි විහාරස්ථානයකට සම්බන්ධ කාමරයක් තුළදී පෙරේදා (23) රාත්‍රී 7.30ට පමණ බව කටුනායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතා සඳහන් කළේය. මොවුන් දෙදෙනා ආහාර ගැනීමට සූදානම් වී, මත්පැනින් සප්පායම් වෙමින් සිටින අතරතුර දේශපාලන සංවාදයක් පටන් ගෙන තිබේ. එම සංවාදාත්මක තත්ත්වය උත්සන්න වීමත් සමඟ මේ බස් රථයේ රියැදුරු අත තිබූ බෝතලයක් කඩා කොන්දොස්තරවරයාගේ ගෙල ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව කටුනායක පොලිසිය කියයි. මෙහිදී තුවාල ලැබූ විජේසිංහ මුදියන්සේලාගේ අනුර පවන් කුමාර නමැති 38 හැවිරිදි කොන්දොස්තරවරයා ලේ පෙරාගෙන මහ රෑ කටුනායක පොලිසිය වෙත පැමිණ රියැදුරාට එරෙහිව පැමිණිල්ලක්ද කර ප්‍රතිකාර ගැනීමට මීගමුව රෝහලට ඇතුළත්ව ඇත. පහරදීමට නිශ්චිත හේතුවක් ඔහු විසින් එහිදී සඳහන් කර නැති බව කටුනායක ප්‍රදේශය භාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා සඳහන් කළේය. එසේ රෝහල්ගත වූ කොන්දොස්තරවරයා මියගොස් ඇත්තේ ඊයේ (24) උදෑසනය. කොන්දොස්තරවරයාට තුවාල සිදුව ඇත්තේ ගෙල ප්‍රදේශයට බව රෝහල් තොරතුරු සඳහන් කළේය. මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කොඩිකාර මුදියන්සේලාගේ සරත් බණ්ඩාර නමැති 36 හැවිරිදි බස් රථයේ රියැදුරුව ඊයේ (24) උදෑසන කටුනායක පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වන විටත් ඔහු වෙරිමරගාතෙන් සිටි බව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා කීය. දිනපතා මොනරාගල සිට අලුයම 05.00ට කටුනායක බලා ගමන් අරඹන මේ බස් රථය සවස 2.30ට පමණ කටුනායකට ළගාවන බව සඳහන්ය. නැවතත් මේ බස් රථය මොනරාගල බලා ධාවනය වන්නේ පසුදින අලුයම 5.00ටය. එතෙක් ඔවුන් බස් රථය කටුනායක පිහිටි අදාළ විහාරස්ථාන භූමියේ ගාල්කර විහාරස්ථානයට අයත් කාමරයේ නවාතැන් ගන්නා බව කටුනායක පොලිසිය සඳහන් කරයි. මේ රියැදුරු සහ කොන්දොස්තරවරයා මේ ගමන් මාර්ගයේ වසර 07ක පමණ කාලයක් එකට සේවය කර ඇති බවට තොරතුරු ඇති බවත් මේ කාලය තුළ කිසිදු ගැටුමක් ගැන පැමිණිල්ලක් පොලිසියට ලැබී නැති බවත් කටුනායක පොලිසිය සඳහන් කළේය. පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා සඳහන් කරනු ලැබුවේ රියැදුරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනතුරුම කොන්දොස්තරවරයාට බෝතලයකින් පහරදුන් බවට මතකයක් නොතිබුණු බවය. දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ කොන්දොස්තරවරයා තමා සමඟ බහින්බස් වීමක් ඇති කරගනිමින් තමාට පහරදීමට සූදානම් වූ අවස්ථාවේදී බිය ගැන්වීමට බෝතලය පොළොවේ ගසා බිඳ ඔහු දෙසට එල්ල කළ බවය. ඒ හැරුණු කොට වෙන කිසිවක් මතකයේ ඇති බවක් ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා නැත. මේ සිදුවීම නොවන්නට ඊයේ අලුයම 5.00ට කටුනායක සිට මඟීන්ද රැගෙන බස් රථය මොනරාගල බලා ධාවනය වන බව පොලිසිය කියයි. බස් රථයේ රියැදුරු වෙරිමතින් සිටි ආකාරයට අනුව එම බස් රථය උදෑසන ධාවනය කෙරුණි නම් විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබුණු බව පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා කීය. මීගමුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිග්‍රේරා මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදසිංහ, උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි, පොලිස් සැරයන් (37371) සුනිල් සහ පොලිස් කොස්තාපල් (33249) අනුෂ්ක යන නිලධාරීන් විසින් විමර්ශන පවත්වයි.

ගයාන් කුමාර වීරසිංහ, කටුනායක - ටී.කේ.ජී. කපිල

නව අදහස දක්වන්න