අපයෝජනයක් ගැන පැමිණිල්ලකට ආ දැරියට කොස්තාපල්ගෙනුත් අතවර | දිනමිණ

අපයෝජනයක් ගැන පැමිණිල්ලකට ආ දැරියට කොස්තාපල්ගෙනුත් අතවර

බරපතළ ලිංගික අපයෝජනයකට ලක්වීමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිසියට පැමිණි බාලවයස්කාර දැරිවියකට ත්‍රිරෝද රථයක් තුළ දී ලිංගික අතවර කළ පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට මාතලේ සහකාර පොලිස් අධිකාරිවරයා පෙරේදා (23) පියවර ගෙන තිබේ. මෙසේ වැඩ තහනම් වී ඇත්තේ මහවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව මේ වන විට සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකුගේය. මේ කොස්තාපල්වරයා මාතලේ කන්දෙනුවර පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී මේ අපරාධය සිදු කර ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු 27 වැනිදාය.

මේ නිලධාරියා විසින් ලිංගික අතවර කර ඇති දැරිවිය පොලිසියට එදින පැමිණ ඇත්තේ ඇයට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමක් ගැන පැමිණිලි කිරීමටය. දැරිවියට එම අපරාධය සිදු වී තිබුණේ ගල්ගමුව පොලිස් වසමේදීය. එබැවින් එම අපරාධය වූ ස්ථානයට දැරිවියව රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂාවක් කිරීමට කන්දෙනුවර පොලිසියේ නිලධාරීන් තීරණය කර තිබේ. කාන්තා නිලධාරිනියක් ඇය සමඟ අපරාධය වූ ස්ථානයට යා යුතුව ඇතත් ඇයව එහි රැගෙන ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ මේ සැකකාර කොස්තාපල්වරයා විසිනි. දැරිවියගේ සීයාද සමඟ දැරිවියව ඔවුන් දෙදෙනා පොලිස් ස්ථානයේ සිට ගල්ගමුවට රැගෙන ගොස් ඇත්තේ පුද්ගලික ත්‍රිරෝද රථයක නංවාගෙනය. දැරිවිය මේ සම්බන්ධයෙන් මීගලෑව පොලිසියට පැමිණිලි කර ඇත්තේ එම ගමනේදී පොලිස් කොස්තාපල්වරයා විසින් තමාගේ කලව සහ සිරුරේ වෙනත් ස්ථාන ස්පර්ශ කරමින් අතවර කළ බවටය. මේ පැමිණිල්ල මාතලේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට යොමු කිරීමට මීගලෑව පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව මේ සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මාතලේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ දැරිවියට ත්‍රිරෝද රථය තුළ දී පොලිස් කොස්තාපල්වරයාගෙන් අතවර සිදුව ඇති බවය. ඒ අනුව මේ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව මාතලේ මහාධිකරණයේ නඩු පැවරීමටද පියවර ගෙන තිබේ. මේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා පෙරේදා (23) නීතිඥ සහාය මත අධිකරණයට ඉදිරිපත් වී තිබේ. එහිදී රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත සැකකරුව මුදාහැර ඇති අතර, නඩුව නැවත මාර්තු 31 වැනිදා කැඳවීමට නියමිතව ඇති බව මාතලේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න