ගුරු මාරුවට සිකුරා ලබයි | දිනමිණ

ගුරු මාරුවට සිකුරා ලබයි

සන්ධ්‍යා කරුණාරත්න

- අල්ලසට වැටක් 
- කඩදාසි හිඟයට පිළියමක්
- සබරගමුවට කිරි කොළඹට කැකිරි

ස්ථාන මාරු ඉල්ලුම් කිරීමේදී ගුරුවරු මුහුණදෙන අසීරුතා සැලකිල්ලට ගෙන, නවීන තාක්ෂණය ද යොදා ගනිමින් මාර්ගගත (Online) ක්‍රමයට අයදුම්පත් කැඳවීමේ ක්‍රමවේදයක් මෑතක සිට ආරම්භ කර ඇත. සමහරු මේ ගැන යම් කුකුසක් දැක්වුවත් සබරගමුව පළාතේ හා විද්‍යා පීඨවල මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වන ආකාරය මෙහි දැක්වේ.

සාමාන්‍යයයෙන් වසරකදී ගුරු ස්ථාන මාරු 10,000ක් පමණ සිදුවේ. ගුරු ස්ථාන මාරු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අනුගමනය කරන සාමාන්‍යය ක්‍රමය වන්නේ අයදුම්පත් කැඳවීමයි. මෙහිදී ගුරුවරුන්ගේ ඉල්ලීම් අනුව සකස් කෙරෙන ස්ථාන මාරු ලැයිස්තුවලට අනුව මාරු මණ්ඩල ක්‍රමය ක්‍රියාත්මක වේ. ගුරු මාරු සිදු කිරීමේ දී පදනම් කර ගන්නේ 2007/20 චක්‍රලේඛයයි.

පළමු පත්වීම ලද ස්ථානයේ වසර 6ක පමණ කාලයක් සේවය කිරීමෙන් අනතුරුව ස්ථාන මාරුවක් සඳහා ඉල්ලුම් කළ හැකිය. එහෙත් ගුරුවරයා අයත් ශ්‍රේණිය අනුව මෙම ක්‍රමවේදය වෙනස් වේ. ඒ අනුව 'ඒ' ශ්‍රේණියේ පාසලක සේවය කරන ගුරුවරයකුට වසර 6ක පමණ සේවා කාලයකින් පසු ස්ථාන මාරුවක් සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලැබේ. එමෙන්ම 'බී' ශ්‍රේණියේ පාසලක සේවය කරන ගුරුවරයකුට පත්වීම ලද පාසලේ වසර 8ක් සේවය කිරීමෙන් පසු මාරුවීම් සඳහා ඉල්ලුම් කළ හැකිය. සාමාන්‍යයයෙන් වසර 10ක්වත් ගුරුවරයකු පාසලක සේවය කළ යුතුය. එවැනි සේවාවක් තිබේ නම් ස්ථාන මාරුවක් ඉල්ලූ විට සලකා බැලීම් සිදු කරයි. වසර 10ක සේවාවක් පැවතියත් අදාළ පාසලේ අදාළ විෂය ඉගැන්වීමට ගුරුවරයකු නොමැති නම් ස්ථාන මාරුව සිදු කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවේ. දරුවන්ගේ ඉගෙනුමට ස්ථාන මාරුව බලපෑමක් වන නිසා අදාළ ස්ථාන මාරුව ලබා දෙන්නේ ද ඒ ගැන විමසිලිමත් වීමකින් පසුවය. සමහර විට සේවා කාලය සම්පූර්ණ කර සිටියද එවැනි විටෙක ස්ථාන මාරුව සිදු නොකිරීමට අමාත්‍යාංශය ක්‍රියා කරයි.

ඔන්ලයින් මාරු

කිසියම් පුද්ගලයකු තමා ජීවත් වන ප්‍රදේශයට අදාළව සේවා ස්ථානයකට ඉල්ලීම් සිදු කළත්, ගුරු සේවාව සම්බන්ධයෙන් එම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම අපහසුය. පුත්තලම වැනි ප්‍රදේශවලින් විද්‍යාව, ගණිතය ගුරුවරුන් බිහි වීම අඩුය. එවැනි ගුරුවරුන් බිහිවනුයේ සෙසු ප්‍රදේශවලිනි. සෑම දරුවකුටම එක විදියකට සැලකිය යුතුය. ගුරුවරු පමණක් නොව රාජ්‍ය සේවාවේ නියුතු සියලු දෙනා ඉගෙනීම කර ඇත්තේ මහජන මුදල්වලින් නිසා රටේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට අනිවාර්ය බැඳීමක් ඇත.

දුෂ්කර ප්‍රදේශයන්හි දරුවන්ට ද හොඳ අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය ඇත. රට තුළ යුද්ධයක් නොමැති නිසා සාමකාමී වටපිටාවක් පැවැතීමත් රටේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් පවතියි. ආර්ථික දුෂ්කරතාව හැර රට තුළ වෙනත් දුෂ්කරතා නොමැති බවට හඳුනාගත හැකිය.

මුහුණදීමට සිදුවන අසීරුතා සැලකිල්ලට ගෙන, නවීන තාක්ෂණය ද යොදා ගනිමින් මාර්ගගත (Online) ක්‍රමයට අයදුම්පත් කැඳවීමේ ක්‍රමවේදයක් මෑතක සිට ආරම්භ කර ඇත. නව ඔන්ලයින් ක්‍රමවේදයට සමහර වෘත්තීය සමිති එතරම් මනාපයක් දක්වන්නේ නැත. බොහෝ දෙනකු නව ක්‍රමවේදයට කැමැත්තක් දැක්වුවත් එක් වෘත්තීය සමිතියක් හෝ අකමැත්ත පළ කළ විට ගැටලුවක් ඇති වේ. මේ ගැටලුව නිසා නව ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමේදී ගැටලුවක් ඇති වී තිබුණත් මේ ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.

ගුරු ස්ථාන මාරු සිදු වන්නේ ස්ථාන මාරු මණ්ඩලයක් මඟිනි. ස්ථාන මාරු මණ්ඩලයේ සාමාජිකයන් අතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ තවත් නිලධාරීන් දෙදෙනකු ඇතුළු වෘත්තීය සමිති නියෝජනයක් ඇතුළත්ය. මෙලෙස ස්ථාන මාරු ක්‍රමවේදය සිදු කරන විට විවිධ චෝදනා ඉදිරිපත්ව තිබේ. අමාත්‍යාංශයේ නිලධාරීන් ඔන්ලයින් ක්‍රමවේදය ආරම්භ කිරීමට තීරණය කළේ එම චෝදනාවන්ට විසඳුමක් ලෙසය.

එක් එක් නිලධාරීන්ගේ කැමැත්ත මත හිතවත්කම් අනුව ගුරු ස්ථාන මාරු සිදු කිරීම, මුදල් හා විවිධ අල්ලස් ගෙන ස්ථාන මාරු කිරීම යනාදි චෝදනා ගුරු ස්ථාන සම්බන්ධයෙන් කලක සිට නැඟෙන චෝදනාවන්ය. මෙම චෝදනා අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් කෙරෙහි ද බලපායි. පිළිකා වැනි බරපතළ රෝගයක් වැලඳුණු ගුරුවරුන්ට මානුෂීය ක්‍රමවේදය යටතේ ස්ථාන මාරු ලැබීම සිදු වුවත් එවැනි පුද්ගලයන්ට ද ස්ථාන මාරු ලැබී නොමැත. එවැනි තත්ත්වයක් යටතේ අල්ලස් ගෙන හිතවත්කම් අනුව ස්ථාන මාරු සිදු කරන්නේ ද යන සැකය අමාත්‍යාංශයේ නිලධාරීන්ට ද ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ස්ථාන මාරු කළ යුතු බවට තීරණය කෙරී ඇත.

පළාත් සභාවේ ආදර්ශය

ගුරු ස්ථාන මාරු ක්‍රියාවලියේ දී සබරගමුව පළාත් සභාව ඉතාම සුදුසු ක්‍රමවේදයක් ලෙස ඔන්ලයින් ක්‍රමය යෝජනා කර එය මේ වන විට ක්‍රියාවට නංවා තිබේ. සබරගමුව පළාත් සභාවේ ඔන්ලයින් ක්‍රමවේදය ගුරු ස්ථාන මාරුවලට පමණක් නොව ගුරුවරුන්ගේ පෞද්ගලික ලිපිගොනුව සම්බන්ධයෙන්ද භාවිත කරයි. ඇතැම් ගුරුවරුන්ට ඉන්ක්‍රිමන්ට් ලබා දී නැත්නම් ඔන්ලයින් ක්‍රමවේදය යටතේ පෞද්ගලික ලිපිගොනුව ක්‍රියාත්මක වීම මත එය වාර්තා වේ. එසේ වාර්තා වීමත් සමඟ අදාළ ගුරුවරුන්ගේ ඉන්ක්‍රිමන්ට් ලබාදීම සිදු කළ හැකිය. මේ වැඩසටහනෙහි සාර්ථකත්වය නිසා ආසියා පැසිෆික් සම්මානය පවා ජයග්‍රහණය කිරීමට සබරගමුව පළාත් සභාව සමත්ව ඇත.

රට පුරා සිදු කරන ගුරු ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සඳහා වන මාර්ගගත ක්‍රමයෙහි පළමු පියවර ලෙස ඔන්ලයින් අයදුම්පත් ගෙන්වා ගැනීමට කටයුතු කෙරිණි. එහිදී අයදුම්පත් 35,000ක් පමණ ලැබිණි. අවුරුදු 5ක් පමණ පිරුණු පසු තමන්ගේ අවශ්‍යතාව මත ස්ථාන මාරු ඉල්ලන ගුරුවරුන් ද සිටියි.

කඩදාසි හිඟය

රට තුළ කඩදාසි හිඟයක් පවතියි. එවැනි තත්ත්වයක් තුළ කඩදාසි භාවිත කිරීමෙන්ම මේ ස්ථාන මාරු සිදු කරන්නේ ද යන ගැටලුව තිබේ. ඔන්ලයින් ක්‍රමවේදයට අනුගත වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තුළ මානව සම්පත මෙන්ම භෞතික සම්පත් තිබියදී මේ ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට පසුබට විය යුතු නැත. අධ්‍යාපන ඇමැතිවරයාගේ හා අධ්‍යාපන ලේකම්වරයාගේ සහාය මේ ක්‍රමයට ලැබීම අගය කළ යුත්තකි. දේශපාලන ආශිර්වාදයත් මේ ක්‍රමය ක්‍රියාවට නැංවීමට තිබියදී තවදුරටත් පසුබට නොවී ලෝකයේ පවතින නව ක්‍රමවේදයන් අධ්‍යාපන අමාත්‍යාංශය තුළට ද අන්තර්ගත විය යුත්තකි.

කඩදාසි හිඟයට, කාලය ඉතිරි කර ගැනීමට, විවිධ අක්‍රමිකතාවලට විසඳුමක් ලෙස අනිවාර්යයෙන්ම ගුරු ස්ථාන මාරුවලට ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාවට නැංවිය යුතුය. නිවැරැදි ක්‍රමවේදයක් ලෙස ගුරු ස්ථාන මාරු ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමේදී අභියාචනා ඉදිරිපත් කිරීම පවා අඩු වේ. උදාහරණයක් ලෙස විද්‍යා පීඨ ගුරු පත්වීම් ලබාදෙනුයේ මාර්ගගත ක්‍රමවේදය යටතේ ය. එම ක්‍රමය ක්‍රියාවට නැංවීම නිසා අභියාචනා ඉදිරිපත් වනුයේ අභියාචනා තුන හතරක් වැනි ඉතා අඩු ප්‍රමාණයකි. එහිදී අභියාචනා ඉදිරිපත් වනුයේත් මානුෂීය අවශ්‍යතා මත ය. ඔන්ලයින් ක්‍රමය යටතේ ස්ථාන මාරු සිදු කිරීමේදී අක්‍රමිකතා නොවන තරමටම බලපෑමක් ඇති කරයි. රට පුරා හැම ක්ෂේත්‍රයක්ම ඔන්ලයින් ක්‍රමවේදයට අනුගත වීමේදී ගුරු ස්ථාන මාරු ක්‍රමයට පමණක් මේ ක්‍රමවේදය අනුගත නොකිරීමට කටයුතු කරන්නේ නම් එය ජාතික අපරාධයකි. එම නිසා මේ ක්‍රමවේදයට අනුගත වීම කාලීන අවශ්‍යතාවකි. එයට එරෙහිවීම බර කරත්ත ක්‍රමයට යෑමකි.

අල්ලස

ගුරු ස්ථාන මාරුවක් ලබා ගැනීම සඳහා කිසිදු අයෙක් කිසිදු පුද්ගලයකුට අල්ලසක් නොදිය යුතුය. කිසියම් නිලධාරියෙක් කිසියම් අල්ලසක් ඉල්ලන්නේ නම් 1954 අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ දුරකතන අංකයට කතා කර දැනුම් දීමට ස්ථාන මාරුව ඉල්ලන ගුරුවරයා වග බලා ගත යුතුය. ඒ සඳහා කිසිදු බියක් නොවිය යුතුය. එය සෙසු ගුරුවරුන්ට ද ආදර්ශයක් වනු ඇත.

(අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන) පී.කේ.එස්. සුබෝධනී මහත්මිය සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.

නව අදහස දක්වන්න