පාසල දියුණු කරන හැටි | දිනමිණ

පාසල දියුණු කරන හැටි

පාසල නැමති ආයතනයට ජීවය දෙන වැදගත්ම සාධකය විදුහල්පතිවරයාය. ඔහු නිසි අයුරින් කළමනාකරණ කටයුතුවල නිරත නොවුනහොත් පාසලේ සම්පත් නාස්ති වේ. ඒවායින් මනා ලෙස වැඩ ගැනීමක් සිදු නොවේ. පීටර් ඩ්‍රකර් හඳුන්වා දුන් කළමනාකරණ න්‍යාය පාසලේ මනා ක්‍රියාකාරිත්වයට බලපාන අදහසකි.

පාසල නමැති ආයතනයේ ප්‍රධාන කළමනාකාරවරයා විදුහල්පතිවරයායි. ඔහු සිය ආයතනය සතු භෞතික මානව සම්පත් සාර්ථකව මෙහෙයවිය යුතුය. මෙහිදී පාසලේ සුවිශේෂී දැක්ම හා මෙහෙවර ඉටුවන ආකාරයෙන් පද්ධතියේ ක්‍රියාවලීන් කාර්යක්ෂම හා ඵලදායී තත්ත්වයට පත් කිරීම කළ යුතුය. එමෙන්ම ඒ සඳහා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල දායක කර ගත යුතුය. පාසල නමැති ආයතනයෙන් සමාජයට ඉටු විය යුතු සමාජයීය වගකීම් ඉටු කිරීමට හා සමාජීය බලපෑම්වලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීම විදුහල්පති භූමිකාවට අයත්ය.

ඩ්‍රකර් නමැති කළමනාකරණ න්‍යායවාදියා පෙන්වා දෙන පරිදි සමකාලීන අර්ථක්‍රමවල සාර්ථකත්වයට මෙන්ම පාසල නමැති ආයතනයේ සාර්ථකත්වයටද අන් කවර දාටත් වඩා කළමනාකරු වන විදුහල්පති වැදගත් වෙයි. ඇත්ත වශයෙන්ම පාසලේ පැවැත්ම හෝ නොපැවැත්ම තීරණය කරන ප්‍රබල සාධකය විදුහල්පතිවරයාය.

ඩ්‍රකර් දක්වන පරිදි පාසල නමැති ආයතනයේද දියුණුවට හේතුව ලෙස කළමනාකරුගේ ශූරත්වය දැක්විය හැකිය. ශූර කළමනාකරුවකු ලෙස විදුහල්පති කටයුතු කරන විට ඒ නිසාම පාසලේ ආචාර්ය මණ්ඩලය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයද පාසලේ දියුණුවට කටයුතු කරමින් සාර්ථකත්වයට පත්වේ. ඒ අනුව කටයුතු නොකරන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට වැඩ කරන අයට, ඉඩදී පාසලින් සමු ගැනීමට හෝ වෙනත් පාසලකට මාරුවී යාමට සිදුවෙන බව ඩ්‍රකර්ගේ විශ්වාසයයි.

කළමනාකරණයේ වැදගත්කම හා කාර්යභාරය පැහැදිලි කිරීමේදී ඩ්‍රකර් පෙන්වා දුන් කාර්යභාරය නැතහොත් වගකීම නොමදව ඉටු කිරීමට පාසලේ කළමනාකරු වන විදුහල්පති නියැලිය යුතු කර්තව්‍යයන් ක්ෂේත්‍ර පහකට බෙදා විස්තර කළ හැකිය.

ඒවා නම්, අභිමතාර්ථ නියම කිරීම, සංවිධානය, අභිප්‍රේරණය හා සන්නිවේදනය, මැනීම, සංවර්ධනය යන්නයි.

කළමනාකරණය හා සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් සැලසුම්කරණයෙන් ආරම්භ වන බව ඩ්‍රකර් පෙන්වා දෙයි. මෙය පාසල් කළමනාකරණ පද්ධතියේද අවස්ථා හතරක් මෙසේ දැක්විය හැකිය.

එනම්, සංයුක්ත සැලසුම්කරණය, උපාය මාර්ගික, කළමනාකරණ හා ක්‍රියාන්විත සැලසුම්කරණය යනුවෙනි.

ඩ්‍රකර් පෙන්වා දෙන පරිදි පාසලේ අරමුණු පුළුල් ක්ෂේත්‍ර අටක් තුළ ව්‍යාප්ත විය යුතුය. එම අරමුණු ක්ෂේත්‍ර පහත ආකාරයට දැක්විය හැකිය.

ලාභදායීතාව, නවීකරණය, වෙළදපොළේ ස්ථාවරත්වය හා තත්ත්වය නිෂ්පාදනය, සම්පත්, කළමනාකරණ කාර්යසාධන හා සංවර්ධනය, සේවක කාර්ය සාධනය, මහජන හා සමාජයීය වගකීම් ඒ අතර වේ.

ඉහත අරමුණු මත පිහිටා ක්‍රියාකරන පාසල විසින් නිමග්න විය යුතු ක්‍රියාකාරකම් ගණ හතරකට බෙදේ. ඒවා නම් පාසලේ ප්‍රතිඵල ජනනය හා සම්බන්ධ ක්‍රියාකාරකම් (ප්‍රමිති සැකසීම) දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම හා පාසලේ පිරියත පවත්වාගෙන යෑම හා ඉහළ කළමනාකරණය සම්බන්ධ ක්‍රියාකාරකම් යනාදී වශයෙනි.

පාසලේ අභිප්‍රායන් සපුරා ගැනීම සඳහා ඒවා සතු මානව සම්පත්වලින් ප්‍රයෝජන ගතයුතු බව ඩ්‍රකර් පවසයි. ඒ සඳහා පාසලේ සියලු කාර්ය මණ්ඩලය අභිප්‍රේරණය කළ යුතුය. අභිප්‍රේරණයේ කේන්ද්‍රය රැකියාව හා ඊට අදාළ කාර්යයන් නිසා ඔවුනට ආවේණික ගති ලක්ෂණ එනම්, ඔවුන් හැකියා හා අභිරුචීන් ක්‍රියාවට නැංවීමට අවස්ථාව දීමෙන් සේවකයන්ගෙන් ඵලදායී ලෙස වැඩ ගත හැකිය. කාර්යයන් පුද්ගල බද්ධ නොව විෂය බද්ධ වන නිසා ඒවා විශ්ලේෂණය කොට ගොනුකර සංස්ලේෂණය කිරීමෙන් පාසලේ කාර්ය මණ්ඩලය අභිප්‍රේරණය කළ හැකිය.

ශරීර විද්‍යාත්මක පරිමාණය - පාසලක, කාර්ය මණ්ඩලය යන්ත්‍ර නොවේ. එකම කාර්ය කිරීමෙන් විඩාවට පත් වේ. ඒ නිසා පාසලේ වැඩ විවිධ විය යුතුය. එනම් අධ්‍යාපන, විනෝද චාරිකා, කලා උළෙල, පාසල් දින, දානමය පිංකම් ආදියද පවත්වා විවිධත්වයක් පාසලේ ඇති කළ යුතුය.

මනෝ විද්‍යාත්මක පරිමාණය - වැඩ කිරීම, සේවක අවශ්‍යතාවක් මෙන්ම හිරිහැරයක්ද, ආශිර්වාදයක් මෙන්ම ශාපයක්ද වේ. පාසල් කාර්ය මණ්ඩලය තමන් වටහාගෙන ඒ තුළින් තමන් මැන ගත යුතුය.

සමාජීය පරිමාණය - මූලිකව පාසල් කාර්ය මණ්ඩලය ප්‍රජාවට පාසලට ප්‍රවිෂ්ට වන්නේ වැඩ සමඟිනි. ඔහුගේ තත්ත්වය, ප්‍රජාව තුළ ඔහුට හිමි ස්ථානය වැඩවලින් තීරණය වේ.

එච්. ආර්. මාලා මංගලිකා
නියෝජ්‍ය විදුහල්පතිනි
බප/කැල කරුණාරත්න
බෞද්ධ මහා විද්‍යාලය

නව අදහස දක්වන්න