ආර්ථිකය යළි සාමාන්‍ය තත්ත්වයට එනවා | දිනමිණ

ආර්ථිකය යළි සාමාන්‍ය තත්ත්වයට එනවා

ලංකා බැංකුවේ සභාපති, ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා

- කාලය මට ගැටලුවක් නොවේ
- මොන පක්ෂය ආවත් වත්මන් පියවර ගන්න වෙනවා
- ව්‍යාපාර පණ ගන්වන්න කටයුතු කළ යුතුයි

ඉතිහාසයේ වඩාත්ම අයහපත් ආර්ථික අර්බුදයකට මුහුණ පාමින් සිටින ශ්‍රී ලංකාව ඉන් ගොඩ ගැනීමට රජය පියවර රැසක් ගනිමින් සිටින අවස්ථාවක පුරවැසියන් ලෙස රටේ ජනතාවට ද ඒ සඳහා කැපවීමට සිදු වන බව ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස තුන්වැනි වරටත් පත් වූ ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා කීවේය.

රට වෙනුවෙන් සහයෝගය ලබා දිය හැකි එක් මාර්ගයක් ලෙස නව සභාපතිවරයා සඳහන් කරනු ලැබුවේ, කඩිනමින් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර සඳහා ආයෝජන සිදු කිරීමට රජයට අවස්ථාව සලසා දෙමින් ආදායම ඉහළ නැංවීමට අනුග්‍රහය දැක්වීමය. වත්කම් සහ ආදායම් සහිත ජනතාවට ආදායම් බදු ගෙවීමෙන් ආර්ථික ගැටලුවලට මුහුණ පා සිටින ජන ජීවිත නඟා සිටුවීමට එමඟින් දායකත්වය ලබා දිය හැකි වනු ඇතැයි ද ඔහු පැවැසීය.

දශක තුනක කාලයක් පුරා ප්‍රකට නීතිඥවරයකු ලෙස කටයුතු කරමින් ආදායමක් ලබා ගන්නා තමා ද පළමු වරට ආදායම් බදු ගෙවන බව ඔහු කියා සිටියේය. “ආදායම් බදු ගෙවීමෙන් මගේ සාමාන්‍ය ආදායමෙන් කොටසක් ද පහත වැටී ඇති බව අද මට දැනෙනවා.

කොහොම වුණත් වෙනත් කෝණයකින් එදෙස බැලීමේදී රජය විසින් යහපත් කාර්යයකට භාවිත කරන ආදායම් බදු සඳහා දායකත්වය ලබා දීමට අවස්ථාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා”.

රජයේ ආදායම පහත වැටීමෙන් මීට මාස කිහිපයකට පෙර ජනතාවට මෙරට ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ බව ඔහු සිහිපත් කළේය.

ජනතාවට පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් මිල දී ගැනීමට දින ගණනාවක් පුරා දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවූ බවත්, දීර්ඝ විදුලි විසන්ධි වීම්වලට ද මුහුණ පෑමට සිදුවූ බවත් ඔහු කීවේය. ඇතැම් අවස්ථාවන්හි දී ඉන්ධන පෝලිම් සැතපුම් ගණනාවක් දීර්ඝ වී තිබූ අතර, ජන ජීවිත අඩාළ කරමින් එම පෝලිම් සති ගණනාවක කාලයක් පැවැති බවත් ඔහු පැවැසීය.

මීට අමතරව කොළඹ නගරය තුළ නිවාස සංකීර්ණවල පදිංචිව සිටින ජනතාවට දර වැනි සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරමින් ඉහුම් පිහුම් සිදු කිරීමට දැනුමක් නොතිබූ නිසා ඔවුන්ට කිසිදු විසඳුමක් නොමැති වූ බව ද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම එය කොවිඩ් හේතුවෙන් ලොවම වෙනසකට ලක් වූ කාලයක් ද වූ අතර, එම කාලය අතරතුර අපගේ රටේ ජනතාවට අගුළු ලෑමේ අත්දැකීම්වලට ද මුහුණ පෑමට සිදු වී තිබිණි. එමෙන්ම රසායනික පොහොර තහනම වැනි කඩිනම් තීරණ නිසා ජනතාව පීඩාවට පත් වීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වූ කාලයකි.

ජනතාවගේ මේ ඉච්ඡාභංගත්වය සහ කෝපය ගාලුමුවදොර සහ ජනාධිපති ලේකම් කාර්යාල අරගලය දක්වා තල්ලු වී ගිය අතර, එම කලාපය 2022 අප්‍රේල් මාසයේදී නව දේශපාලන ව්‍යාපාරයක් බවට පත් විය. එහි ප්‍රතිඵලය වූයේ නව ජනාධිපතිවරයකු (ගෝඨාභය රාජපක්ෂ වෙනුවට) සහ නව අගමැතිවරයකු (මහින්ද රාජපක්ෂ වෙනුවට) පත්වීමට මං විවර වීමය.

ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව නීත්‍යනුකූලව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා ගත් අතර, ඔහුට පවතින තත්ත්වයට මුහුණ දීමට සිදු වූයේ ආර්ථිකය ගොඩනැඟීමට ජනප්‍රිය නොවන තීරණ රැසක් ගැනීමෙනි.

පළමුව සාර්ථක ලෙස දිගු පෝලිම් සහ විදුලිය විසන්ධි කිරීම අවසන් කළ ජනාධිපති වික්‍රමසිංහ මහතා, අනතුරුව ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අර්ථවත් සහ ඵලදායී පියවර රැසක් ගනු ලැබීය.

“අද ගෑස් සහ ඉන්ධන නිදහසේ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. විදුලිය විසන්ධි කිරීම පැය තුනකට වඩා අඩු කර තිබෙනවා. ඒ වගේම ආර්ථික මූලධර්ම නිශ්චිත ස්ථානයකට වැටී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ද නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණෙමින් තිබෙනවා.”

ලංකා බැංකුවේ 28 වැනි සභාපතිවරයා ලෙස තුන්වැනි වරටත් වැඩ බාර ගත් රොනල්ඩ් පෙරේරා මහතා, ලංකා බැංකුවේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් වූ රසල් ෆොන්සේකා, සාමූහික කළමනාකාරීත්වයේ සාමාජිකයන්, බැංකු කාර්ය මණ්ඩලය සහ සෙසු පිරිස විසින් පිළිගනු ලැබූහ.

අත්දැකීම් බහුල නීතිඥවරයකු වන පෙරේරා මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලැබූ අතර, එංගලන්තයේ නෝදන්බුරියා විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාද් උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු 2012 වසරේදී ජනාධිපති නීතිඥවරයකු ලෙස පත්වීම ලැබුවේය.

සිවිල් හා අපරාධ නඩු, වාණිජ හා ප්‍රවාහන ගිවිසුම් සහ සම්මුතීන් කෙටුම්පත් කිරීම හා සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ඔහුට අත්දැකීම් සම්භාරයක් ඇත. ඔහු වාණිජ නීතිය, බැංකු නීතිය, කාර්මික නීතිය, වාරණ, අපහාස, මැතිවරණ පෙත්සම්, සිවිල් අභියාචනා, ප්‍රතිශෝධන අයැදුම්පත්, රිට් අයැදුම්පත් සහ මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධව විශේෂඥයෙකි.

පහත පළ වන්නේ ලංකා බැංකුවේ නව සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා වැඩ බාර ගැනීමෙන් පසු ඔහු සමඟ කළ කෙටි කතාබහකි.

වත්මන් ආර්ථික ප්‍රතිපත්තිය අදූරදර්ශී හා නිශ්චිත දිශානතියකින් තොර බවට බොහෝ අය කියනවා?

ඒක ඇත්ත නෙවෙයි. ඒවා දේශපාලන කතා. මොන දේශපාලන නායකයෙක් හෝ දේශපාලන පක්ෂයක් බලයට ආවත් මේ වත්මන් පියවර ගැනීමට සිදු වෙනවා. වෙන විසඳුමක් නෑ. ශ්‍රී ලංකාව විශාල ණය අර්බුදයකට ලක්ව සිටි බව අමතක නොකළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ඉදිරියට යෑමට උපකාර කරනවා. අපට අපේ ණය අර්බුදයෙන් ගොඩ ඒමට සිදු වෙනවා. මේක තමයි වර්තමානයේ සිදු කරමින් සිටින්නේ. කවුරු බලයේ සිටියත් මේ මූලික මූලධර්ම අනුගමනය කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම වැනි ලාභ ලබන ආයතනවල වත්කම් විකිණීමට රජය තෝරාගෙන ඇත්තේ ඇයි?

ශ්‍රී ලංකාවට විදේශ විනිමය සංචිතය ශක්තිමත් කිරීමට අවශ්‍ය වෙනවා. (එය වර්තමානයේ අමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ) ඒ නිසා රුපියල් 370ක් පමණ වන ඩොලරය ශ්‍රී ලංකා රුපියල මත සැලකිය යුතු ආකාරයේ පීඩනයක් ඇති කර තිබෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීම හා විකිණීමේ ක්‍රියාවලියෙන් විදේශීය ඍජු ආයෝජන මේ ආයතනවලට ලැබෙනවා. ඉන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 3 සිට 4ක් පමණ මුදලකින් ශක්තිමත් වෙයි. පළමුව රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් වන අතරම, අමෙරිකානු ඩොලරයට විශාල ධනාත්මක බලපෑමකුත් සිදු වේවි. ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ වීමෙන් පසු රුපියල් 370 ගණනක සිට ආසන්න වශයෙන් රුපියල් 100 දක්වා ඩොලරයේ අගය පහත වැටේවි. ඒ වගේම ආනයනය සඳහා රුපියල් ප්‍රමාණය අඩුවෙන් ගෙවීමට සිදුවීම නිසා ජීවන වියදමත් පහත වැටේවි.

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමට රජයේ සැලසුමක් තිබෙනවාද?

ඒකාන්තයෙන්ම නෑ. ජනාධිපතිවරයාගේ අදහස රාජ්‍ය අංශයේ ඇතැම් ව්‍යාපාර එම අංශවලින් ඉවත් කර පෞද්ගලික අංශයට එම ව්‍යාපාරවල නිරත වීමට ඉඩ සැලසිය යුතු බවයි. මූල්‍ය අංශය හැර අනෙකුත් සියලුම වාණිජ අංශවලින් රජය ඉවත් විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා. නව අභියෝගවලට මුහුණ දීම සඳහා විශේෂයෙන් මූල්‍ය අංශය සහ රාජ්‍ය බැංකු ශක්තිමත් කරන බව ඔහු කීවා.

ඉහළ ණය අනුපාත අද ඔබ සමාලෝචනය කරන්නේ කොහොමද?

අලුතින් ණය ලබා දීමේදී ඉහළ පොලියක් අය කිරීමට සිදුවන නිසා බොහෝ අය ණය ගැනීමට අකමැති වෙන බව ඇත්ත. පවතින ආර්ථික තත්ත්වය නිසා අපේ ඇතැම් ණය ගැනුම්කරුවන් ඔවුන්ගේ ණය ආපසු ගෙවීමට නොහැකිව අපහසුතාවට පත්ව සිටිනවා. ඒ සඳහා ඇති පහසුම හා පොදු ක්‍රමය වෙන්නේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර අරන් ඔවුන්ගේ දේපොළ අලෙවි කරලා ඒ මුදල බැංකුවට පියවා ගැනීමයි.

ඒත් මම දකින්නේ ඔවුන්ගේ දේපොළ වෙන්දේසි කිරීමේ හෝ නීතිමය පියවර ගැනීමේ ඵලක් නැති බවයි. අපි උත්සාහ කර බැලිය යුතු වන්නේ එවැනි ව්‍යවසායයන් වැඩි ආර්ථික ක්‍රියාකාරම් සඳහා නැවත පණ ගන්වන්නේ කොහොමද කියන එකයි. ලංකා බැංකුව කියන්නේ රජයේ දකුණත වගේ. ඒ නිසා ආර්ථිකයේ උන්නතියට අප උපකාර කළ යුතුයි.

මේ සඳහා බැංකුවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයෙන් සම්බන්ධීකරණය කරමින් ක්‍රියාවට නංවන්න අපි විශේෂිත ඇප දීමේ පැකේජයක් මඟින් උපකාර කරනවා. ඒ වෙනුවෙන් අපට ඔවුන්ට සිය ව්‍යාපාර පණ ගන්වන්න තව අත්තිකාරම් මුදලක් පවා ලබා දිය හැකියි.

අලුතින් ණය ඉල්ලුම්පත්‍ර සම්බන්ධයෙන් ගත්තම අපි ණය අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් දිහා අපරාධකරුවන් හෝ සැකකරුවන් විදිහට බලන්නේ නෑ. (සීඅයිඩීයෙන් සිදු කරනවා වගේ) ඒත් ඔවුන්ට ගෞරවයෙන් සැලකිය යුතු වගේම ඔවුන්ගේ ණය අයැදුම්පත් ඉක්මන් කළ යුතුයි.

වර්තමාන පොලී අනුපාත ඉහළ මට්ටමකයි තිබෙන්නේ. එය අඩු විය යුතුයි. එමඟින් ජනතාවට ණය ලබාගෙන නැවත ඔවුන්ගේ ව්‍යාපාරවලට පිවිසීමට ඉඩ සැලසෙනවා.

ඔබ සභාපති ධුරයට පත්වන්නේ තුන්වැනි වරටයි. ඔබ දකින ශක්‍යතා සහ දුර්වලතා මොනවාද?

ලංකා බැංකුවේ මම දකින විශාලතම වත්කම ගොඩනැඟිලි හෝ එහි මූල්‍ය සංචිතය නෙවෙයි. දැනට සිටින තරුණ කාර්ය මණ්ඩලයයි. මේ තීරණාත්මක අවස්ථාවේදී ජාතික ආර්ථිකයට දායකත්වය ලබා දීම සඳහා අපගේ බැංකුව ඉදිරියට රැගෙන යෑමට සහ ඉහළ නැංවීමට ඔබේ හැකියාව හා කැපවීම උපරිම අයුරින් ලබා දීමට මා සමඟ එක්වෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

ණය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම එක දුර්වලතාවක් කියලයි මම හිතන්නේ. ඒ වගේම එය අනුමත කිරීමට අනවශ්‍ය කාලයක් ගත වෙනවා. මේක ක්‍රමවත් කරලා වඩාත් ඉක්මන් කළ යුතුයි. ගනුදෙනුකරුවා ඇපයක් විදිහට ඉඩමක් ලබා දී තියෙද්දිත් උකස් ණයකට කාලයක් ගත වෙන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ.

බැංකුවේ විදේශ ව්‍යාපෘති සැලසුම් මොනවාද?

මාලදිවයින (දෙකක්), චෙන්නායි හා සීෂෙල්ස්වල පිහිටා ඇති අපේ විදේශීය ශාඛා අපේක්ෂා කළාට වඩා හොඳින් ක්‍රියාත්මක වෙනවා. එය තවත් පුළුල් කිරීමේ බලාපොරොත්තුවෙන් බැංගලෝර්වල ශාඛාවක් විවෘත කිරීමට අනුමැතිය බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.

මේ සඳහා ලංකා බැංකුව අක්‍රිය ණය ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කළ යුතුයි. ඔවුන්ට තවත් ණය ලබා දෙමින් බැංකුවේ ව්‍යාපාර නැවත පනගැන්වීමේ ඒකකය මඟින් ඔවුන් නැවත පණ ගැන්වීමට උපකාර කළ යුතුයි.

ඔබ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සහ තවත් සමාගම් කිහිපයක ප්‍රධානියා. ඔබ කොහොමද ලංකා බැංකුවට ඔබේ අවධානය යොමු කිරීමට කාලය සොයා ගන්නේ?

මට ලංකා බැංකුවේ හොඳ කළමනාකරණ කණ්ඩායමක් ඉන්නවා. මමත් කාලය පිළිබඳ කාර්යක්ෂම කළමනාකරුවෙක් නිසා කිසිම ගැටලුවක් නෑ.

සිරාජිව් සිරිමාන්න

පරිවර්තනය ෆවුස් මොහොමඩ්
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

නව අදහස දක්වන්න