හිනැහෙනු මැන නිදහස | දිනමිණ

හිනැහෙනු මැන නිදහස

මේ තීරුවේ අද හෙඩිමට යොදා ඇත්තේ සුනිල් මාධව ප්‍රේමතිලක විසින් පරිවර්තනය කරන ලද ජෝන් බ්‍රයිලීගේ කෘතියේ, හඬනු මැන නිදහස යන්නෙහි විරුද්ධ තේරුමය. සටනක නොමැකෙන නාම ඇත්තේ කිහිපයකි. එසේ වුවත් යට ගිය නම් ගණනාවකි. ස්ටීව් බිකෝ යනු ද එවැනි යටගිය නාමයකි. මනරම් සොබා දහමේ චර්මය නම් කවරයේ පැහැයෙන් මිනිසුන් මිල කළෝ මිනිස්සුමය. ඒ අමනුෂ්‍ය දහමට එරෙහිව සටන් කළ බිකෝ වැන්නෝ මැන්ඩෙලා නම් තිරයෙන් වැසී ගියේය. චරිත සහ සිද්ධි පමණක් නොව, මතවාද ද යටපත්වීම නිදහස සම්බන්ධයෙන් ඇති අර්බුදයක් වන්නේය.

හැත්තෑ පස් වසරක නිදහස සැමරීමට එරෙහි වූ ‘හැත්තක්’ ද රටේ සිටියහ. ඔවුහු මේ සඳහා මුලට දමාගන්නේ වියදමය. සංවර්ධනය වැනි කර්තව්‍යකදී පරිසරය සහ දූෂණය ද ඉදිරියට දමාගෙන මේ පිරිස ඒ ව්‍යායාමය වළකාලන්නේය.

කතාව ඇත්තය. මේ වන විට අපි බංකොලොත් ජාතියකි. දැන් ඇත්තේ ණයට දුවන රටකි. මැතිවරණය තබා ගන්නට හෝ රටේ සල්ලි නැති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයකින් අධිකරණයට දන්වන ලද රටකි මේ. එසේ වූ පමණින් ණයටම යටවී රටකට සිටිය නොහැකිය. නිදහස සැමරීම සඳහා උත්සවයක් සිදු නොකරන ජාතියක් තරමට අප හිඟමනට පත්ව නැත. නොකා නොබී හෝ දරුවන්ට කන්න දීම මවුපිය සිරිත සේ, අප කුමන තත්ත්වයකදී හෝ අභිමානය අත් නොහළ යුත්තේය. අභිමානය වනාහි මේ අර්බුදයෙන් නැඟී සිටීම සඳහා අපට ඇති එකම පිළිසරණය. ඒ අභිමානය නොමැත්තේ නම් මෙවැනි අර්බුදයකදී අප දෙපා තබා ගන්නේ කොතැනද...? ඒ නිසා කුමන තත්ත්වයක් මත්තේ වුවද අප අභිමානය අත්හළ නොගත යුත්තේය.

අද අප සමරන්නේ අපට උරුම නිදහස පමණක් නොවේ. අපේ නූපන් පරපුරේද නිදහසය. කිසිදු කාරණයක් සඳහා අප එය යට නොකළ යුත්තේය. වයිරසයකට සහ අසාර්ථක ආර්ථික තීරණ කිහිපයක් හේතුවෙන් අප ආර්ථික අසමබරභාවයකට පත්ව තිබේ. එසේ වුවද අප දේශපාලනික වශයෙන් ස්ථාවරය. මේ හේතු නිසා සිය ජීවිතය අප වෙනුවෙන් පුද දුන් නිදහසේ විරුවෝ අගරු නොලැබිය යුත්තේය.

මේ දේශය අලංකාර වී ඇත්තේ වන උයන් හා මුහුදු තීර ආදියෙන් නොවේ. වීරයන්ගේ උදානය ඒ සුන්දරත්වය පරදා, මේ රට අලංකාර කර ඇත. මේ බිමේ සුවඳ වී ඇත්තේ ආවේණික පුෂ්පයෝ පිස එන නල රැල්ලෙන් නොවේ. වීරයන්ගේ යශෝරාවය අතීතයේ සිට ගලාවිත්, අප වටා පවනක් වී මේ රට සුගන්ධවත් කර තිබේ. අද සමරන්නේ හැත්තෑපස් වසරක නිදහසක් පමණක් නොවේ. පණ්ඩුකාභය පරපුරෙන් උපන් ජාතියක මහා උදානය, ඒ මත්තේ ගැබ්ව තිබේ. සිංහ ධජය ලෙළදෙන්නේ කොඩි ගසක මුඳුනත හමා යන සුළඟින් නොව, දරා ගත නොහැකි උරුමයක මහිමයෙනි. එවන් උරුමයක් හිමි අප, සියල්ල ‘නැති වගටම’ පවරා ඇඳිවතෙන් පමණක් යැපෙමු ද...?

අපගේ හෙට දවස ඉදි කර ගත යුත්තේ අද දවසේ විඳින පීඩා අත්තිවාරමට ගෙන මිස, ඒ පීඩා මත්තේ ඔළුව ගසා ගැනීමෙන් නොවේ. වන්දනීය පූජනීය මව්බිමේ මහිමය ඒ කිසිදු පීඩාවක්, අපට දුරදිග ගෙනි යන්නට දෙන්නේ නැත. බුද්ධ රාජ ශ්‍රී පාදස්පර්ෂිත මේ පොළෝ තලය, අප තවදුරටත් පීඩනයේ තබන්නේ නැත. ඒ දේව වරමකින් නොවේ. උදානයෙන් නැ‍ඟෙන ජාතියක හෙට දවස එච්චරම කළුවර නැත. ඒ සඳහා අප උදානය හිස මුඳුනේ තබා ගත යුත්තේමය. හැත්තෑපස් වසර යනු සිය වසක මුල් තුන් කාල වේ. තවත් කාර්තුවක් අප හමුවේ හෙට සිට දිග හැරෙනු ඇත.

උපතින් දිවියෙන් මරණින් එක ලෙස

ඔබගෙන් මා ලද උරුමේ

මේ පස මත මා පා ගැටෙන කල

දිවියේ බර මට නොදැනේ

යැයි මහගමසේකර පද බඳින ලද්දේ, මේ පොළොවේ මහිමයය. එතරම් උත්තුංග දේශයක අප පා තබා ඇත්තෙමු. ණය කන්දක් සහ ආර්ථික අර්බුදයක් මත්තේ හැපී හැපී වුවත්, අප මේ මොහොතේ නැඟී සිටිය යුත්තේ අභිමානය නම් අප හමුවේ ඇති බිඳලිය නොහැකි ප්‍රාග්ධනය සමඟය. නිදහස සමරන්නට විරුද්ධ වන්නේ, මේ අභිමානය සඳහා පයින් ගැසීමට වුවමනා පිරිසය.

නොමරා මැරීමේ එක් ක්‍රමවේදයක් වන්නේ, සැමරීම අහිමි කිරීමය. ඒ සඳහා ඉඩ ලබානොදී, නිදහස සැමරීම සඳහා රජය ගත් තීරණයට මේ පුවත්පත සිය ආචාර්ය පුද කර සිටියි. සමහරු පුරුදු ලෙස වර්ජනයේය. මෙවැනි අතීතාවර්ජනයක් වර්ජනය කළ හැක්කේ, සිය ඉතිහාසයේ සැඟවීමට දේ ඇති පිරිසටය. එසේම සැමරීමට සිය ජීවිතයේ දේවල් අහිමි වූවෝ, ජාතියට බෙදන්නේ ද ඒ හැන්දෙන්මය.

නිදහස යනු අත්හළ නොහැකි යුතුකමකි. මිනිසෙකු සිය ජීවිතය උත්තරීතර අයුරින් පුද දෙන්නේ දිනූ බිම වෙනුවෙනි. ඒ දේශයේ නිදහස වෙනුවෙනි. තමන් දිවිය පුද දෙන්නේ තමන් වෙත ජීවත් වීම පිණිස නොව, අනාගත දේශයේ ස්වාධිපත්‍ය වෙනුවෙන්ය. නිදහස යනු ඒ තරම්ම උතුම් පදයකි. නොමැති විට අගය දැනෙන එය, ලැබී ඇති විට ද දැනෙන තරමට සැමරිය යුතුය,

උදානයේ ජය ගී ඇසෙන හෙටක් වෙනුවෙන් අභිමානවත් නිදහස අද දවසේ සමරමු.

නව අදහස දක්වන්න