‘හේමාස් පියවර’ විසි වසක මෙහෙවර සමරයි | දිනමිණ

‘හේමාස් පියවර’ විසි වසක මෙහෙවර සමරයි

‘හේමාස් අවුට්රීච් පදනමේ’වසර 20ක මෙහෙවරෙහි ප්‍රධානතම ප්‍රජාසත්කාර ව්‍යාපෘතිය වන‘පියවර’ වැඩසටහනේ විසිවැනි සංවත්සරය වෙනුවෙන් සකස්කරන ලද විශේෂ සැමරුම් ප්‍රකාශනයක් පසුගියදා එළිදැක්විණි.‘පියවර’යනු ශ්‍රී ලංකාවේ දරුවන්ට රැකවරණය සලසමින්, ජීවිත කාලය පුරාම ඔවුන්ට සවිමත් අත්වැලක් සැපයීම ඉලක්ක කරගත් ජාතික මට්ටමේ මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන වැඩසටහනකි. ආරම්භයේ පටන් දශක දෙකක කාලයක් පුරා මෙරට දරු පරපුර වෙනුවෙන් මෙම වැඩසටහන මඟින් ඉටුවූ මෙහෙවර මෙම සැමරුම් ප්‍රකාශනය තුළ සවිස්තරව දක්වා තිබේ. මෙය ජාතික මට්ටමේ ගැටලුවක් විසඳීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අතර ඇතිකරගත් සාර්ථක හා ඵලදායී හවුල්කරීත්වයකට මනා උදාහරණයකි.

ශ්‍රී ලංකාවේ අවම වරප්‍රසාදලාභී පවුල්වල දරුවන්ට අත්වැලක් වෙමින් ඔවුන්ගේ ජීවිතවලට ශක්තිමත් අඩිතාලමක් ලබාදීමේ අරමුණින් හේමාස් සමූහ ව්‍යාපාරය විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අයත් ළමා ලේකම් කාර්යාලය සමඟ එක්වී 2002 වසරේදී ‘පියවර’ වැඩසටහන දියත් කරන ලදි.

‘පියවර’ වැඩසටහන යටතේ මේ වන විට දිවයින පුරා පෙර පාසල් 62ක් ඉදිකර, ඒවා අදාළ ප්‍රාදේශීය බලධාරීන් වෙත භාරදී ඇති අතර, මෙම බලධාරීන් විසින් එම පාසල්වලට නිසි සුදුසුකම්ලත් ගුරුවරුන් පත්කිරීම සිදු කරයි. මෙම පාසල්වල සාමාන්‍ය නඩත්තු කටයුතු එම බලධාරීන් විසින් සිදු කරනු ලබන අතර, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා හේමාස් අවුට්රීච් පදනම මඟින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය හා එක්ව වාර්ෂිකව ගුරු පුහුණු වැඩසටහන් සංවිධාන කරනු ලැබේ. මෙරට ප්‍රජාවන් සමඟ ගැඹුරින් සම්බන්ධවූ යුග මෙහෙවරක් ලෙස මේ වන විට විශාල කීර්තියක් දිනාගැනීමට සමත්වී ඇත.

“මෙම විශේෂ සැමරුම් ප්‍රකාශනයක් එළි දක්වනුයේ ‘පියවර’ වැඩසටහන මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සැමරීමක් ලෙසිනි.මෙම වැඩසටහන මෙතෙක් පැමිණි ගමන්මග, එහි ප්‍රධාන සංධිස්ථාන සහ කැපී පෙනෙන ජයග්‍රහණ ආදිය පිළිබඳ සවිස්තර තොරතුරු මීට ඇතුළත් ය.‘පියවර’වැඩසටහනේ පරමාර්ථය වන්නේ,ළමා කේන්ද්‍රීය පෙර පාසලක් නිර්මාණය කිරීමත්, අධ්‍යාපනයට පරිකල්පනය, උද්‍යෝගය සහ කුතුහලය වැනි ගුණාංග මුසුකරමින් අවම වරප්‍රසාදලාභී ග්‍රාමීය ප්‍රජාවන්ට අයත් දරුවන් ඇතුළුව, රටපුරා විසිරුණු පියවර පෙර පාසල් 62 තුළ අධ්‍යාපනය ලබන දහස් සංඛ්‍යාත දරුවන්ගේ දැනුම හා ජීවන කුසලතා වැඩි දියුණු කිරීම යැයි හේමාස් අවුට්රීච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවාය.

නව අදහස දක්වන්න