රියැදුරුට පහර දී බසයක් කොල්ලකෑ සීසර්ලා අල්ලයි | දිනමිණ

රියැදුරුට පහර දී බසයක් කොල්ලකෑ සීසර්ලා අල්ලයි

මළ ගෙදරක යෑමට යැයි කියා රුපියල් ලක්ෂ 95ක් පමණ වටිනා බස් රථයක් මීගමුවේ සිට මඩම්පැල්ලට රැගෙනවිත් රියැදුරුට පහරදී කොල්ලකා රැගෙන ගිය ලීසිං සමාගමක සීසර්වරු තිදෙනකු බඩල්ගම පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (7) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලය සිදුව ඇත්තේ පසුගියදා (02) දහවල් 12.40ට පමණ බව පොලිසිය කියයි.

කොච්චිකඩේ ඔය පාරේ පදිංචිකරුවන් වන මහේෂ් කුමාර (27), එම්.ටී.එම්. අසාර්දීන් (27) සහ කොච්චිකඩේ පලගතුරේ තක්කියා පාරේ පදිංචිකරුවකු වන එම්.එන්. කමල්රාජ් (35) යන තිදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලකෑ බස් රථයේ හිමිකරු මීගමුව වැල්ලවීදියේ පදිංචිකරුවෙකි. බස් රථය කොල්ලකන විට එහි රියැදුරු ලෙස කටයුතු කර ඇත්තේ ඔහුය.

පොලිසිය පවසනුයේ මළ ගෙදරකට යෑමට යැයි කියා බස් රථය කුලී පදනම මත ගෙන මෙම කොල්ලය සිදු කර ඇති බවය. බස් රථය කොල්ලකෑ තිදෙනා සුදු ඇඳුමින් සැරසී ශෝක බැනරයක්ද රැගෙන මීගමුවෙන් බස් රථයට ගොඩවී ඇති බව පොලිසිය කියයි. බස් රථය මඩම්පැල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇත්තේ මළ ගෙදර යෑමට සූදානමින් සිටින සෙසු අය ගැනීමට ඇති බව කියමිනි.

මෙම කොල්ලය ගැන පොලිසියට ලැබුණු පැමිණිල්ලට අනුව කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ බස් රථය කල්බදු සමාගමක මීගමුව ශාඛාවකින් කල්බදු වාරික ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති එකක් බවය. ඒ වන විට වාරික කිහිපයක හිඟයක් තිබී ඇති බවද පොලිසියට පෙනී ගොස් තිබේ.

ඒ අනුව කල්බදු සමාගමෙන් කළ සොයා බැලීමකදී පෙනී ගොස් ඇත්තේ බස් රථය කොල්ලකා ඇත්තේ අදාළ සමාගමේ සීසර්වරුන් විසින් බවය. මෙසේ කොල්ලකමින් අත්පත්කර ගැනීමට හැකියාවක් නැති බවත් තනිකරම මෙහිදී සිදු වී ඇත්තේ කොල්ලකෑමක් බැවින් විමර්ශන පවත්වා මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

බස් රථයද සමඟ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න