ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 332කින් නවතී | දිනමිණ

ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 332කින් නවතී

ලයන්ස් ලකුණු 98ක් පසුපසින්

ජොෂ් ටංග්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිවුදින තරගයේ ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම ලකුණු 332කින් නතර කළ සංචාරක එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 7ක් ද අතැතිව ලකුණු 98ක් පසුපසින් සිටියේය.

ඊයේ තරගය නතර කරන විට ජෙමී ස්මිත් ලකුණු 86ක් සහ ඇලෙක්ස් ලීස් ලකුණු 75ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, ලයන්ස් ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 234ක් ලෙස සටහන් විය. ලයන්ස් පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස් කිරීමට කටයුතු කළ අතර, ඕවර 35කට පමණක් මුහුණ දුන් ඔවුන් 6.68ක දළ ලකුණු වේගයක් පවත්වාගෙන තිබිණි.

ලයන්ස් ඉනිමේ මුල් කඩුලු 2 ලකුණු 17ක් තුළ දවා ගැනීමට චාමික කරුණාරත්න සහ විශ්ව ප්‍රනාන්දු සමත් වුවද එක් අන්තයක් රැකගත් ඇලෙක්ස් ලීස් ශතක සබඳතා දෙකක් සමඟින් ඉනිම ගොඩනැඟුවේය.

ඊයේ තරගය නතර කරන විට ස්මිත් සමඟින් සිවුවැනි කඩුල්ලට ලකුණු 112ක නොබිඳුණු සබඳතාවක් පිහිටුවා තිබූ ලීස් ඉන් පෙර තෙවැනි කඩුල්ලට ජොෂ් බොහානන් සමඟින් එක්ව ලකුණු 105ක් එක් කර තිබිණි. බොහානන් ලකුණු 54කට දැවී ගිය අතර, වේගවත් ඉනිමක නිරත වූ ස්මිත් දිනය නිමා වන විට හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින් වැය කර තිබුණේ පන්දු 56ක් පමණි. ලීස් පන්දු 82දී හතරේ පහර 8ක් එල්ල කර තිබිණි.

ලකුණු 190කට කඩුලු 3ක් ලෙස තිබියදී ඊයේ තරගය ඇරඹූ ලසිත් කෲස්පුල්ලේ සහ නායක නිපුන් ධනංජයගේ සබඳතාව තවත් ලකුණු 21කදී නිමා කිරීමට දිනයේ සාර්ථකම පන්දු යවන්නා වූ ජොෂ් ටංග් සමත් වූයේ ලසිත් දවා ගනිමිනි. ඉන් නොනැවතුණු ටංග් නිපුන් ධනංජය ද ගොදුරු කර ගත් අතර, නිපුන්ට පෙර ලසිත් දවාගත් ටංග් ඊළඟ පන්දුවෙන් ළහිරු උදාර යළි ක්‍රීඩාගාරයට හරවා යැවූවේය. ඔහුගේ ඊළඟ ඕවරයෙන් චාමික කරුණාරත්න ද ලකුණු රැස් කිරීමට පෙර දැවී ගිය පිතිකරුවන් අතරට එක් කළේය.

ඉනිම අගදී ක්‍රියාත්මක වෙමින් ලක්සිත මානසිංහ රැස් කළ ලකුණු 43 සහ ලසිත් ඇඹුල්දෙණියගේ (42) වේගවත් පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 332 සීමාවට පිවිසීමට හැකි විය. මේ තරගයෙන් සිව්දින ටෙස්ට් තරග වරම් ලැබූ ටංග් ලකුණු 76කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

අද තරගයේ තෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - 332 (ඕවර 88.1) ලසිත් කෲස්පුල්ලේ 128, නිපුන් ධනංජය 61 (ජොෂ් ටංග් 76/5, සෑම් කුක් 69/2, මැතිව් ෆිෂර් 83/2)

ලයන්ස් පළමු ඉනිම - 234/3 (ඕවර 35) ජෙමී ස්මිත් නොදැවී 86, ඇලෙක්ස් ලීස් නොදැවී 75, ජොෂ් බොහානන් 54

 

නිරෝෂාන් ප්‍රියංකර

 

නව අදහස දක්වන්න