කඩුවෙල නගර සභාවේ ලිපි ලේඛන තොගයක් කනත්තක දී පුලුස්සලා | දිනමිණ

කඩුවෙල නගර සභාවේ ලිපි ලේඛන තොගයක් කනත්තක දී පුලුස්සලා

කඩුවෙල මහ නගර සභාවේ වැදගත් ලිපි ලේඛන තොගයක් මීට දින කිහිපයකට ඉහත දී කොතලාවල ගැමුණුපුර ආදාහනාගාර භූමියේ දී පුලුස්සා දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් පවසන්නේ ටිපර් රථයකින් ආදාහනාගාර භූමියට ඇතුළු වූ පිරිසක් එම භූමියේ කෙළවරක විශාල ගිනි ගොඩක් ගසා මේවා පිලිස්සූ බවයි.

කෙසේ වෙතත් මෙම ලිපිද්‍රව්‍ය තොගය දින හතරක් තිස්සේ ඇවිළී තිබේ.

මේ පිළිබඳව කඩුවෙල නාගරික කොමසාරිස්තුමියගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ එවැනි කිසිදු සිදුවීමක් සිදු වී නොමැති බවයි.

මේ සිද්ධිය පිළිබඳ කඩුවෙල නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන මහතා ප්‍රකාශ කළේ මෙම ලිපිගොනු ගිනි තැබීම සම්පූර්ණයෙන් අනීතික ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගනිමින් සිටින බවත් ය.

කෙසේ වෙතත් රාජ්‍ය ආයතනයක ලිපිගොනු ඉවත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියට අනුව එම ලේඛන වසර දහයක් වත් පැරණි විය යුතුය. එමෙන් ම එය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව අනුමත කළ යුතු ය.

අනිත් අතට ආදාහනාගාර භූමියක මෙසේ වෙනත් දෑ ගිනි තැබීමට ද නීතියෙන් ඉඩක් නැතැයි ද ප්‍රදේශවාසීහු පැවසූහ. ඉදිරියේ මැතිවරණයක්ද ප්‍රකාශ කොට ඇති පසුබිමක වගකිවයුතු නගර සභාවක් මෙසේ ලිපිගොනු ගිනි තැබීමක් කිරීම කෙරෙහි බරපතළ සැකයක් මතුව ඇතැයි ජනතාව පවසති.

නවගමුව සමූහ සුගත් ප්‍රේමතිලක

නව අදහස දක්වන්න