‘ගණේවත්ත’නවත්වන්න
සවස පහයි විස්සට කුරුණෑගල සහ ගණේවත්ත බලා ධාවනය වන දුම්රිය ගණේමුල්ල සහ ගම්පහ නවතා ධාවනය කරන ලෙස මගීන් ලෙස අපි ඉල්ලා සිටිමු. මෙම දුම්රිය ස්ථාන දෙකට කාර්ය බහුල කාලය තුළ විශාල මගීන් ප්‍රමාණයක් පැමිණේ. ගම්පහ දුම්රිය ස්ථානය යනු දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩිම ආදායමක් ලබා දෙන දුම්රිය ස්ථානයකි. එමෙන්ම මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ බස්නාහිර පළාතේ ප්‍රධානම නගරයකය. එනිසා ගණේවත්ත දුම්රිය ගණේමුල්ල සහ ගම්පහ දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය කිරීම වඩාත් සුදුසුය.
නාලක සෙනෙවිරත්න
ගම්පහ
කඩේ කෑම තාම වැඩියි
පාන් පිටි මිල මීට මාස හයකට පෙර තිබුණේ රුපියල් හාරසියයක් වැනි ඉහළ මිලකය. දැන් එහි මිල රුපියල් දෙසීයේ සීමාවට කිට්ටුව තිබේ. එසේ මිල පහළ යාම හොඳය. එහෙත් එහි වාසිය පාරිභෝගිකයා වෙත ලැබී නැත. මිල ඉහළ ගිය කොත්තුව, පරාටය, බිත්තර රොටිය, වැනි ආහාර වර්ගවල මිල පහළ ගොස් නැත. එය කනගාටුවට කරුණකි. පාන් ගෙඩියේ මිල පහළ යාම හොඳය. එහෙත් කොත්තු, ඇතුළු ආහාරවල මිල ගණන් පහළ නොයාම විශ්මයජනකය. එනිසා සිදුව තිබෙන්නේ පාන් පිටි මිල අඩු වීමේ වාසිය කඩහිමියන් වෙතය. එනිසා ඉක්මනින් මේ තත්ත්වය නිවැරැදි විය යුතුය.
සමන් ශාන්ත මාතර
හැඳුනුම්පත ගැන ප්‍රශ්නයක්
ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ඔන්ලයින් ක්‍රමයට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට යැවිය යුත්තේ වයස අවුරුදු 15 හෝ ඊට වැඩි අයට පමණි. කොළඹ අවට සහ තදාසන්න පාසල් විසින් මේ දිනවල හැඳුනුම්පත සඳහා පෙබරවාරි පාසල් ආරම්භයත් සමඟ ගෙන එන්නැයි සහ දැනට දහවන වසරේ සහ පෙබරවාරි මස දහවෙනි වසරට ඇතුළත් වන සිසු සිසුවියන් වෙත දන්වා ඇත. (සමහරු 2009 ජනවාරි මස උපන් අය වෙති.) මෙම හැඳුනුම්පත සඳහා අනුමත ඡායාරූපයේ වලංගු කාලය ජායාරූපය ගත් දිනයේ සිට මාස හයකි. මේ අනුව වයස අවුරුදු දාහතර වයසේ පසුවන සිසු සිසුවියන්ට මුහුණ පෑමට ඇත්තේ විශාල අභියෝගයකි. ඇතැම් පාසල් විසින් උපන් දිනය සටහන් නොකර ඡායාරූප විස්තර උඩුගත (up load) කරන්නැයි පවසා ඇත. එකොළහ වසර වෙනුවෙන් පවත්වනු ලබන අ.පො.ස සා පෙළ විභාගය සඳහා නියමිත වයසට පෙර හැඳුනුම්පත වෙනුවෙන් ඡායාරූප ගැනීමෙන් සිදුවන්නේ මාස හයේ කල් ඉකුත් වීම මත නැවැත ඡායාරූප ගැනීමක් ලෙස ඡායාරූපශාලා හිමියෝ පෙන්වා දෙති
අනිල් ලසත් පෙරේරා
නිදහස
දෙසබස රැස නිදහස් වන දවස අපේ නිදහසයි
බත බුලතින් රට සරු වන දවස අපේ නිදහසයි
සිහල දමිළ යෝනක සැම එක් වෙන දා නිදහසයි
නැවෙන් කටට බලා නොසිට කුස පුරවන නිදහසයි
දුප්පතුන්ගෙ දුප්පත්කම නැති වන දා නිදහසයි
අයිතිය ගැන සටන් පාඨ නැති වන දා නිදහසයි
අපේ කමින් රට ජාතිය පොහොසත් වන නිදහසයි
මතු පරපුර නිවට කමින් නැඟිටින දා නිදහසයි
අලුත් අලුත් දෑ තනන්න සිහින දකින නිදහසයි
සිය රට දේ සිරි සැප දේ කියන සිතන නිදහසයි
හොර මැරකම් දූෂණ නැති නිවහල්කම නිදහසයි
රෝ බිය නැති රටක් හදමු ඒක අපේ නිදහසයි
ඒස්. කන්දගේ
ත්‍රිරෝද රථ නියාමනය ඉක්මන් කරමු
ත්‍රීවීලරය යනු කෙටි ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ළඟම තේරීමයි. එහෙත් පෙට්‍රල් හිඟයත් සමඟ ජනතාවගේ ළඟම තේරීම දුරම තේරීම බවට පත්වන දිනය වැඩි ඈතක නැතැයි අනුමාන කළ හැකිය. නිවෙසේ සිට ටවුමට හණික යන්නත්, දුම්රියට, බස් රියට යන්නත් ආධාරකයක් ලෙස භාවිත කළ ත්‍රීවීලරය කෙමෙන් දුර ගමන් සඳහා ද යොදා ගන්නට ජනතාව හුරු විය. මන්දයත් මිල නොවැඩි, තරමක පහසුව දනවන ගමන් මාදිලියක් ලෙස එය හඳුනාගෙන තිබුණ බැවිනි.
ත්‍රීවීලර් මීටර් ක්‍රමය හඳුන්වා දෙන්නට පෙර ත්‍රීවීලර්වල ගමන් සඳහා මිල නියම කෙරුණේ අදාළ දුර සහ ගතවන කාලය, ත්‍රීවීල් නැවතුම්පොළේ සෙසු ත්‍රීවීලර්කරුවන් අය කරන පොදු මිල ආදිය සලකමිනි. ඒ අනුව නිශ්චිත දුරක් සඳහා නිශ්චිත මිලක් සෑම විටම නොවුණත් බොහෝ විට දක්නට ලැබුණි. මේ අතර මගීන් ගසාකන්නම බලා සිටින ත්‍රීවීල්කරුවන් ද හිඟ නොවීය.
ත්‍රීවීලර්වලට මීටර් සවි කෙරුණු විට මුල් කිලෝමීටරයට රු: 40ක් ද, ඉන් පසුව වැඩි වන සෑම කිලෝමීටරයකටම රු: 00 බැගින්ද අගය එකතු විය. මුල් කිලෝමීටරයේ මිල ක්‍රම ක්‍රමයෙන් 50, 60, 70, 80, 90 සහ 100 තෙක් රොකට් වේගයෙන් ඉහළ නඟින්නට විය. අද වන විට ත්‍රීවීල් මීටර් පටන් ගන්නේ රු:100කිනි. ඒ අනුව කිලෝමීටරයක් හෝ ඊට අඩු දුරකට අවමයෙන් ගෙවිය යුතු ගාස්තුව රු:100කි.
පික්මී, ඌබර් ආදී ටැක්සි ඇප් පැමිණීමත් සමඟ මීටර් ත්‍රීරෝද රථවල ස්ථාවර මිල ගණන්වලට සාපේක්ෂව අය කරනු ලබන මිල අඩු හෙයින් වහා ඒ කෙරෙහි ජනතාව ආකර්ෂණය විය. තවත් නොයෙක් අලුත් ටැක්සි ඇප් වර්ග මේ අතර දැකිය හැකි විය. කැන්ගරු කැබ් ආදියද තරගකාරී ලෙස තම සේවා සැපයීම පටන් ගති.
වර්තමානය වන විට ස්ථාවර මිල යක්ෂයාට ගොස් ඇත. ත්‍රිරෝද රථ රියදුරන් දැන් මිල ගණන් පවසන්නේ හිතුමතේය. කොටින්ම පෙට්‍රල් මිල වැඩි වූයේ කොතෙකින්ද, ඒ ප්‍රමාණයම අදාළ ගමනාන්තයට එකතු කර මිල පවසන ආකාරයක් පවා දැකිය හැකි විය. ඔවුන්ගේ මිල ගණන් කොතරම් ඉහළ නැඟ ඇත්ද කිවහොත් මීට දවස් ගණනකට පෙර මේ මිලට මෝටර් රථයක පවා යන්නට හැකිව තිබුණි.
මිල නියාමනය පිළිබඳ ගැටලුව පැන නඟින්නේ මෙන්න මේ මොහොතේදීය. යම්කිසි නිශ්චිත දුරක් වෙනුවන් නියම කළ මිලක් දැන් අත්‍යවශ්‍යය. එසේ නොවුණහොත් මී මැස්සන් මෙන් නගරය පුරා ගමන් කළ ත්‍රිරෝද රථවල අනාගතය ඉතා ඉක්මනින් අඳුරු වී යනු ඇත. විකල්ප වෙත ඉතා ඉක්මනින් මාරු වීමට පටන් ගෙන ඇති මහජනතාව බයිසිකලයටත්, එතැනින් පයින් ගමන් යෑමටත් පටන් ගෙන ඇති බවක් නිරීක්ෂණ මඟින් හෙළි කර ගත හැකිය.
බස් රථවල ගමන් කළ මහජනතාව දැන් ක්‍රමයෙන් අඩු ගාස්තු අය කරන දුම්රියට මාරු වී ඇත. දුම්රියේ දැන් ඇත්තේ කිසිදා දැක නැති මට්ටමේ තදබදයකි.
ආර්ථික අර්බුදය හිසටම පහර දෙන්නට පටන්ගෙන ඇති හෙයින් සියලුම වැඩි වියදම් කපා හැරීමට සිදුව ඇත. මේ වැඩි වියදම් අතර දෛනික ප්‍රවාහන වියදම් ද තිබීම කනගාටුවට කාරණාවකි.
ලක්ෂිත අමරසිංහ
කැලේට ගිය පොළක්
දුන්ගාල්පිටිය සතිපොළ අවුරුදු කිහිපයක සිට ප්‍රයෝජනයට නොගෙන තිබීම නිසා කැලෑ වැදී තිබේ. කලකට පෙර ජනතාවට අතිමහත් සේවයක් ඉටුකළ දුන්ගාල්පිටිය සතිපොළ මේ වන විට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පවතී. ඒ ගැන බලධාරීන් වෙත පැමිණිලි කළද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබි නොමැත. එනිසා ප්‍රදේශවාසීන් වෙත විශාල සේවයක් ඉටු කර ගත හැකි මෙම පොළ භූමිය නැවත ප්‍රයෝජනයට ගත හැකි කාර්යයක් සඳහා වෙන් කර දෙන ලෙස ඉල්ලා සිටිමු.
තුෂාර ප්‍රනාන්දු
මීගමුව
පාරවල් කැඩෙන්න හේතුව මෙන්න
පසුගිය කාලයේදී කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ග ජල නළ ඇතිරීම සහ දුරකථන මාර්ග අලුත් වැඩියාව සඳහා වළවල් සහ කානු කපා අවසන් වූ පසු නැවත තිබූ ලෙස ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ග විනාශ වෙමින් තිබේ. පළුදු වූ තැන තාර හෝ කාපට් යොදා ප්‍රතිසංස්කරණ කළද ඒවා නිසි ප්‍රමිතියට ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා මේ තත්ත්වය උදා වී තිබේ. එනිසා මේ ගැන නිසි ලෙස සොයා බලා කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමකි.
සමඳරා ජයවර්ධන
නව අදහස දක්වන්න