ජලභීතිකාව යනු භයානක රෝගයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ එය පිස්සු බලු රෝගය ලෙසද හඳුන්වයි. බොහෝ විට ජලභීතිකාව සුනඛයන් මඟින් පැතිරී යෑම ඊට හේතුව වුවත් මෙම රෝගය බළලුන්, වවුලන්, නරියන්, වඳුරන්, හාවුන්, මුගටියන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් මඟින්ද බෝ වීම සිදු වෙයි.
ජලභීතිකාව බෝවෙන්නේ කොහොමද?
ජලභීතිකාව වැලඳෙන්නේ ලිසවයිරස් නම් වයිරසය ආසාදනය වීමෙනි. එය ක්ෂීරපායී සතෙකුගෙන් තවත් ක්ෂීරපායී සතෙකුට වඩාත් පහසුවෙන් බෝ වෙයි. කිසියම් ජලභීතිකාව වැලඳුණු ක්ෂීරපායී සතෙකුගේ රේඛීස් වයිරසය සහිත ඛේට තවත් සතෙකුගේ රුධිරය හෝ ශ්ලේෂ්මල පටල හා තැවරීම මඟින් ජලභීතිකාව බෝ වීම සිදු වේ. ඒ අනුව ජලභීතිකාව වැලඳුණු බල්ලන්, බළලුන් හෝ වෙනත් සතෙකු හපා කෑමෙන්, සීරිමෙන් පමණක් නොව ඔවුන්ගේ සමීප ඇසුරකින් පවා මිනිසාට ජලභීතිකාව වැලඳීම සිදු වෙයි. තුවාල සහිත අයෙක් ජලභීතිකාව වැලඳුණු සතෙකු සමීපව ඇසුරු කිරීමෙන් ජලභීතිකා රෝගය වැලඳීමට වැඩි අවස්ථාවක් පවතී.
රෝග ලක්ෂණ
ජලභීතිකා රෝගයේ මූලිකම ලක්ෂණය වන්නේ උණ වැලඳීමයි. දින කිහිපයක් ඇතුළත උණ අසාමාන්‍ය ලෙස වර්ධනය වන අතර ඒ සමඟ ඔළුවේ කැක්කුම, ඔක්කාරය, වමනය ආදී රෝග ලක්ෂණද පහළ වෙයි. රෝගය තරමක් බරපතළ වීම ආරම්භ වන්නේ ඉන් පසුවය. එහිදී රෝගියා ආතතියට ලක්ව ස්වයං පාලනයෙන් තොරව කලබලයෙන් කටයුතු කරයි. මුඛයෙන් කෙළ වෑස්සීම, ආහාර ගිලීමේ අපහසුතා මතු වීම, විකාර රූපී දර්ශන මැවී පෙනීම, නින්ද නොයෑම, ජලයට අධික ලෙස බිය වීම ආදී ලක්ෂණ රෝගය උත්සන්න වීමේදී මතු වෙයි. අවසානයේ ශ්වසන අපහසුතා මතු වී රෝගීයා මරණයට පත් වෙයි.
රෝගයේ ව්‍යාප්තිය
වසරකට ලොව පුරා ජලභීතිකා රෝගය වැලඳීමෙන් මිනිස්සු 55000ක් පමණ මියයති. එයින් 95%ක් පමණ ආසියානු සහ අප්‍රිකානු මහාද්වීප තුළින් වාර්තා වීම තිබීම සුවිශේෂී කරුණකි. වාර්ෂිකව අපේ රටේද ජලභීතිකා රෝගය නිසා මිනිස් මරණ 20-30ක් පමණ සිදු වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ජලභීතිකාවට එන්නතක්
ජලභීතිකා රෝගය වැලඳීම වැළැක්වීම සඳහා එන්නතක් පළමුවරට සොයා ගනු ලැබූයේ ක්‍රිස්තු වර්ෂ 1885 වසරේදී ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වූ ලුවී පාශ්චර් විසිනි. එම එන්නත සොයා ගැනීමට පෙර ජලභීතිකාව යනු ලොව භයානක රෝගයක්ව පැවතුණි. එම සොයා ගැනීමෙන් අනතුරුව එම එන්නත ලොව ජනප්‍රියත්වයට පත් විය. ලොව පුරා රටවල සෞඛ්‍ය අංශ විසින් සුනඛයන්, බළලුන් ඇතුළු ක්ෂීරපායී සතුන් හට ජලභීතිකා එන්නත ලබා දීම සිදු කරන්නට කටයුතු කළ නිසා අද වන විට ජලභීතිකා රෝගය ලොව පාලනය කළ රෝගයක් බවට පත් විණි. එසේම බල්ලන්, බළලුන් ඇතුළු ක්ෂීරපායී සතුන්ගේ සපා කෑමකට ලක්වන මිනිසුන් හටද ජලභීතිකා එන්නත ලබා දීම සිදු වෙයි.
ජලභීතිකාවෙන් ප්‍රවේශම් වන්නට නම්,
කෙසේ නමුත් අප ජලභීතිකා රෝගය වැලඳීමෙන් වැළකී ප්‍රවේශම්සහගතව කටයුතු කළ යුතුය. ඒ මක් නිසාද ජලභීතිකා රෝගය වැලඳීම වළක්වා ගැනීම සඳහා ජලභීතිකා එන්නත ප්‍රමාණවත් වුවත් ජලභීතිකා රෝගය වැලඳුණහොත් එය සුව කර ගැනීම සඳහා නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් වෛද්‍ය විද්‍යාවේ නොවීමයි. එම නිසා නිවෙසේ ඇති කරන බල්ලන්, බළලුන් ආදී සතුන්ට නිසියාකාරයෙන් ජලභීතිකා එන්නත් ලබා දීම ඉතා වැදගත් වෙයි. එසේම අයාලේ යන බල්ලන්, බළලුන් මෙන්ම කැලෑබද ජීවත් වන නරියන්, වඳුරන් ආදී සතුන්ගේ ආශ්‍රයට නිෙවසේ වෙසෙන සුරතල් සතුන් මුසු නොකළ යුතුයි. එසේම බල්ලකු, බළලකු සපා කෑ විගස වෛද්‍යවරයකුගේ නියමයෙන් ජලභීතිකා එන්නත ලබා ගැනීමටද කටයුතු කළ යුතු වෙයි. එමඟින් ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා වීම සිදු වෙයි. එසේම තුවාල සහිත අයවලුන් බල්ලන්, බළලුන්, හාවුන් ආදී සතුන්ගෙන් ඈත් වී සිටීමද නුවණට හුරුයි.
පසිඳු මිහිරාන් රැටියල
නව අදහස දක්වන්න