අපි හැමෝම කැමතියි සිහින්, නම්‍යශීලී, නිරෝගී සිරුරක් පවත්වා ගන්න. නමුත් අද වන විට බොහෝ දෙනාගේ ජීවිත තරබාරු බව විසින් ආක්‍රමණය කරලා ඉවරයි. අධික තරබාරුව එහෙම නැත්නම් ස්ථූලතාවය කියලා හඳුන්වන්නේ ශරීරයට අනවශ්‍ය හානිකර මට්ටමකින් මේදය තැන්පත් වී තිබීමයි. බටහිර වෛද්‍ය විද්‍යාව obesity කියලා හඳුන්වන මේ තත්ත්වය ආයුර්වේදයේදී මේදෝ වෘද්ධි රෝග ලෙස හඳුන්වනු ලබනවා. තරබාරු බව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හටගත්තත් තම සිරුර හා රූපලාවණ්‍ය ගැන වැඩිපුර උනන්දුවක් දක්වන කාන්තා පාර්ශ්වය මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනු ලබනවා. ව්‍යායාම අඩු වන විට ශරීරයේ ඇති අධික මේදය උදරය, කලවා, පපු ප්‍රදේශය, අත්ගොබ, වැනි ස්ථානවල තැන්පත් වීමෙන් එම ස්ථාන අධිකව මහත් වී එල්ලා වැටෙන ස්වභාවයට පත්වීම තරබාරු බවට පත්වීමේදී දක්නට ලැබෙනවා. නිදසුනක් ලෙස යම් කාන්තාවක් ඇවිදින විට පියයුරු, තට්ටම්, උදරය යන ශරීරාංග ලෙළ දෙන අයුරින් සෙලවෙයි නම් එය අධික තරබාරුව ලෙස බාහිරින් හඳුනාගත හැකියි. නමුත් ශරීරය මහත් වීම පමණක් තරබාරුව ලෙස නිගමනය කිරීම වැරදියි. උසට සරිලන බරක් පවතීද යන්න සොයා බලන ශරීර ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම හෝ නිවෙසේදී සරල පරීක්ෂණයක් ලෙස උදරය හා පපු ප්‍රදේශය මැන බැලීම තුළින් ඔබට යම් නිගමනයකට එළඹිය හැකියි. ශරීරය මහත් වීම සමඟ හතිය, පිපාසය, ශරීරයේ ශක්තිය පිරිහී යෑම, සිරුරේ අප්‍රාණික බව, අලස බව, අධික කුසගින්න, මල පිට කිරීමේ අක්‍රමවත් බව, දහඩිය දුගඳ හැමීම තරබාරු බව හා බැඳුණු මූලික ඉඟි ලෙස දැක්විය හැකියි. අධික තරබාරුවට බොහෝ විට හේතු වන්නේ ඌරු මස්, හරක් මස්, බටර්, මාගරින් වැනි මේදය අධික ආහාර, තෙලෙන් බදින ලද ආහාර, පැණි බීම වර්ග, ශරීරය වෙහෙසා කටයුතු නොකිරීම, දහවල් නිදා ගැනීම වැනි හේතු වුවත් මේවාට අමතරව ශරීරයේ හෝමෝන අසමතුලිතතාව කාන්තාවක් නම් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හෝ "ආරය" යන හේතූන් ද බලපැවැත්විය හැකියි. එමෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීමේදී ලබා දෙන ඖෂධ, අධික රුධිර පීඩනයට ගන්නා ඖෂධ, උපත් පාලනය සඳහා ගන්නා ඖෂධ තරබාරුව සඳහා යම් දායකත්වයක් සපයනු ලබනවා.
තවද දියවැඩියාව, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම, වකුගඩු රෝග, අක්මාව ආශ්‍රිත රෝග, ඇතැම් පිළිකා රෝග, හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ යෑම, මදසරුභාවයට පත්වීම මෙන්ම ලිංගික දුර්වලතා ඇතිවීමට තරබාරු බව සෘජුවම දායකත්වය සපයනු ලබනවා. මෙයට අමතරව නින්ද පිළිබඳ විකෘතිතා, නහර ගැටගැසීම් වැනි තත්ත්ව පවා ඇති වන්නට පුළුවන්. ඉතා දරුණු සංකූලතා ඇති කරන්නට සමත් නමුත් මෙම තරබාරු බව නිවෙසේදීම ඉතාම පහසුවෙන් පාලනය කර පරාජයට පත් කළ හැකියි. කළ යුතු එකම දෙය නම් ප්‍රමාණවත් ව්‍යායාම හා ක්‍රමවත් ආහාර රටාවකට හුරු වීමයි. අපේ අසල්වැසි රට මෙන්ම ආයුර්වේදයේ නිජබිම වන ඉන්දියානු වැසියන් සිරුර පැහැපත්, නිරෝගී හා සිහින්ව පවත්වා ගැනීමට CCF Miracle tea හෙවත් ආයුර්වේද ‘හාස්කම් තේ’ නමින් සංයෝගයක් භාවිත කරනු ලබනවා. අද වන විට මෙය යුරෝපයේත් ජනප්‍රිය පානයක්. කනගාටුවට කරුණ නම් අපි අදටත් මේ පිළිබඳ සැලකිලිමත් නොවීමයි. මෙහි අඩංගු වන්නේ අපි ඉතා හොඳින් දන්නා කුළුබඩු වර්ග 3ක් ඒ වගේම සකස් කර ගන්නත් හරිම පහසුයි.
C - Cumin (සූදුරු)
C - Coriander (කොත්තමල්ලි)
F - Fennel (මාදුරු)
මෙම ද්‍රව්‍ය සමාන ප්‍රමාණවලින් ගෙන භාජනයක දමා ළිපේ තබා මදක් රත් කර කුඩු කර ගෙන තබාගත යුතුයි. තේ හැඳි එක බැගින් ගෙන උතුරන වතුර පීරිසි කෝප්පයකට දමා විනාඩි 20කට පසු පෙරා බීමට ගත යුතුයි. නිරෝගී බව පවත්වා ගැනීමට නම් රාත්‍රී නින්දට පෙරත් සිරුරේ බර අඩු කර ගැනීමට නම් ප්‍රධාන ආහාර වේලකට විනාඩි 30 පසු දවසට දෙවරක් ගැනීමත් කළ යුතුයි. ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නම් මෙම සංයෝගයට වියළි ඉඟුරු හා කුරුඳු පොතු ද සම ප්‍රමාණයෙන් මිශ්‍ර කර සකසාගත හැකියි. සතියට දින දෙකක් කොල්ලු තැම්බූ වතුර පානයත් සුදු ලූනු, කරපිංච, ගොරක, කළුදුරු, මී පැණි වැනි මේදය නසන ආහාර එදිනෙදා ආහාරයට එකතු කර ගැනීමත් කළ හැකියි. එමෙන්ම වෛද්‍ය උපදෙස් මත ශරීරයට තෙල් ගැල්වීම හා ස්වේද කර්ම ප්‍රතිකාර සඳහා යොමුවීමත් තරබාරුව නසා ඉක්මනින් සිහින් සිරුරක හිමිකරුවකු හෝ හිමිකාරියක බවට පත්වීමට ඉඩ සලසයි.
සටහන - ගයාන් සංජය
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය රුවන් බණ්ඩාර
නව අදහස දක්වන්න