අප සමාජයේ ජීවත්වන මිනිසුන්ගෙන් 95%කට වැඩි ප්‍රතිශතයක් ශරීරයේ මස්පිඩු පෙරළීම හෙවත් කෙණ්ඩා පෙරළීමේ රෝගයෙන් පීඩා විඳින බව නොරහසකි. වෛද්‍යවරු සඳහන් කරන්නේ ද ශරීරයේ සිදුවන මස්පිඩු පෙරළීමක් සියලු පුද්ගලයන්ට ජීවිතයේ එක් වරක් හෝ සිදු වීම සාමාන්‍ය බවයි. කෙසේ වෙතත් මෙකී සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ඇතිවන කෙණ්ඩා පෙරළීම් ඇතැම් විට දරුණු රෝගී අවස්ථාවන්ට මඟ පාදන්නක් බව කිව යුතුය.
කෙණ්ඩා පෙරළීමක් සිදු වන්නේ කෙසේද?
ශරීර අවයව සාමාන්‍ය පරිදි නවන විට සංකෝචනය වෙමින් ලිහිල් වීම සිදු විය යුතු වුවත් මස්පිඩු පෙරළීම හෙවත් කෙණ්ඩා පෙරළිම සිදු වන අවස්ථාවන්හිදී එසේ ලිහිල් නොවී අධික වේදනාවක් ගෙනදීම සිදු වෙයි. මෙම තත්ත්වයට හේතු වන්නේ ශරීරයේ මස්පිඩු අධික ලෙසින් ක්‍රියාත්මක වීමේදී නිපදවෙන ලැක්ටික් නමැති අම්ලය රුධිරවාහිනී හරහා ඉවත් නොවීමයි. ඉතා වේදනාකාරී තත්ත්වයක් වන මෙම රෝගී තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ රාත්‍රී කාලයේදී බව මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී තිබේ. බොහෝ විට මෙවැනි කෙණ්ඩා පෙරළීම් තත්ත්වයක් තත්පර 10ක 15ක කාලයක් තදින් වේදනා දෙමින් පවතින අතර, ඉන් පසු ටිකෙන් ටික පහව යයි. ඇතැම් දරුණු කෙණ්ඩා පෙරළීමකදී නම් ඒකාකාරීවම මෙම කාලය පුරාවට වේදනාව පැවතිය හැකි අතර, වේදනාව පවතින කාල සීමාව ද වැඩි විය හැකිය. තවද ශරීර අභ්‍යන්තරයේ සිදුවන කෙණ්ඩා පෙරළීම් අවස්ථා ද හඳුනා ගත හැකි අතර, ආහාර මාර්ගයේ, මුත්‍රා පද්ධතියේ හා ගර්භාෂයේ සිදු වන කෙණ්ඩා පෙරළීම් තත්ත්ව සුලබ ලෙස දක්නට ලැබේ.
භයානක රෝගයකට අත වැනීමක්ද?
නිරන්තරයෙන් මස්පිඩු පෙරළීම හෙවත් කෙණ්ඩා පෙරළීම සිදු වන පුද්ගලයන් ඊට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසු වේ. මක්නිසාදයත් ඇතැම් විට මේ තත්ත්වය භයානක රෝගී තත්ත්වයක පෙරනිමිත්තක් ද විය හැකි නිසාය. කෙණ්ඩා පෙරළීම ඇති වීමට වයස් සීමාවක් නොමැත. අවුරුදු හයේ, හතේ දරුවාගේ සිට වැඩිහිටි මහල්ලා දක්වා වයස් භේදහයකින් තොරව මෙම රෝගී තත්ත්වය ඇති විය හැකිය. වයස් භේදය පමණක් නොව, ස්ත්‍රී පුරුෂ භාවය ද මෙම රෝගී තත්ත්වයට බාධාවක් නොවේ. බොහෝ විට ධාවනය, පිහිනීම වැනි ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙණ්ඩා පෙරළීමේ තත්ත්වයට ගොදුරු වීම අතිශය භයානක තත්ත්වයකි. එවැනි අවස්ථාවන්හි මෙවැනි තත්ත්වයන්ට ගොදුරු වුවහොත් ජීවිත අවදානමක් පවා ඇති විය හැකිය.
මීට බලපාන හේතු කිහිපයකි.
කෙණ්ඩා පෙරළීම හෙවත් මස්පිඩු පෙරළීමේ තත්ත්වයක් ඇති වීමට බලපාන ප්‍රධානතම හේතුවක් වන්නේ මස්පිඬුවල අධි ක්‍රියාකාරීත්ව විජලනයයි. ක්‍රීඩකයන් මෙන්ම ශරීරය වෙහෙසමින් වැඩ කරන අයටත්, කලාතුරකින් ශරීරය වෙහෙසන අයටත් මෙම තත්ත්වය ඇති වන්නේ මේ හේතුවෙනි. ඇතැම් රෝගවලට නිර්දේශ කරන ඖෂධ නිසා ද මෙම තත්ත්වය ඇති වේ. උදාහරණයක් ලෙස, හදවත් රෝගවලට, වමනය වැනි තත්ත්වයන්ට දෙන ඖෂධ භාවිතයෙන් ඇතැම් පේෂී, විශේෂයෙන්ම බෙල්ල අවට ඇති පේෂී පාලනයෙන් තොර වීමත්, පාලනයකින් තොරව ඒවා සංකෝචනය වීමත්, වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීමෙනුත් කෙණ්ඩා පෙරළීම් තත්ත්වය ඇති විය හැකිය. මීට අමතරව සිරෝසිස් රෝගයට ගොදුරු වූවන් හා විටමින් ඌනතාව නිසා ද මෙම තත්ත්වය ඇති වේ.
කෙණ්ඩා පෙරළීමේ කරදරයෙන් මිදෙන්න නම්,
ඔබට කෙණ්ඩා පෙරළීම අධික පීඩනයක් ගෙන දෙන්නක් බව නොඅනුමානය. එනිසා ඉන් මිදීමට මෙන්ම එවැනි දරුණු තත්ත්වයකට මුහුණ දීමෙන් වැළකී සිටීමට ඔබ දැන සිටිය යුතුය. එහිදී පෝෂ්‍යදායී, සමබල ආහාර වේලක් ලබා ගැනීමත්. දිනපතා ව්‍යායාම කිරීමත් අනිවාර්ය වේ. එහිදී විශේෂයෙන්ම මාංශපේෂී ලිහිල් කරන ව්‍යායාමවල නිරත වීම වැදගත් වේ. ක්‍රීඩකයක් මේ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතු අතර, ක්‍රීඩා කිරීමට පෙරත්, ක්‍රීඩා කිරීමෙන් අනතුරුවත් මාංශපේශී ලිහිල් කරන ව්‍යායාමවල නිරත වීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය. එමෙන්ම වෛද්‍යවරු නිර්දේශ කර ඇති පරිදි දිනකට පානය කළ යුතු ජලය ප්‍රමාණය අනිවාර්යයෙන්ම පානය කළ යුතුය. මෙසේ සිදුවන කෙණ්ඩා පෙරළීමේ තත්ත්වය ඔබේ නින්දට ද බාධාවක් වන බැවින් නිරන්තරයෙන් මෙම රෝගයට ගොදුරු වන්නන් නින්දට පෙර මස්පිඩු ලිහිල් කිරීමේ ව්‍යායාමවල නිරත වීමට අමතක නොකළ යුතුය. ව්‍යායාම වුව ද හිතු මනාපයට කිරීමෙන් අතුරු ආබාධ ඇති විය හැකි බැවින්, විශේෂයෙන්ම කිසියම් රෝගයකට දීර්ඝකාලීනව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා රෝගීනුත්, ගර්භණී මව්වරුනුත් තම වෛද්‍යවරයාගේ උපදෙස් මත කෙණ්ඩා පෙරළීමේ තත්ත්වයට අදාළ ප්‍රතිකාර සිදු කළ යුතුය. මේ අතර, සාමාන්‍ය විශ්වාසය අනුව කෙණ්ඩා පෙරළීමක් සිදු වුණු අවස්ථාවන්හිදී එම ස්ථානය හොඳින් සම්බාහනය කිරීමත්, ලුණු ස්වල්පයක් ජලයේ දිය කර පානය කිරීමත් ක්ෂණික ප්‍රතිකර්ම ලෙසින් හඳුනා ගත හැකිය.
නිවැරදිව මේ දේවල් කිරීම වැදගත්
ඉහතින් සඳහන් කළ ප්‍රතිකාරවලට අමතරව කෙණ්ඩා පෙරළීමක් ඇති වූ විට ඇවිදීම හෝ නම්‍යතා ව්‍යායාමවල නිරත වීම කළ යුතුය. ඉන් කෙණ්ඩා පෙරළීමට ලක්වුණු ස්ථානයේ ක්‍රියාකාරීත්වය හැකි ඉක්මණින් යථාවත් කරයි. පාදයේ කෙණ්ඩා පෙරළුණු අවස්ථාවකදී තරමක් වේදනාකාරී වුවත් ඇවිදීම මෙහිදී වඩාත් සුදුසු වේ. එමෙන්ම අදාළ ස්ථානය තත්පර 15-30ක කාලයක් සම්බාහනය කිරීමත් වැදගත්වේ. ඉන් සිදු වන්නේ කෙණ්ඩා පෙරළුණු ස්ථානයේ පටක වෙත හොඳින් රුධිරය සංසරණය වීමයි. එමෙන්ම එහිදී තද වූ මාංශපේෂී ලිහිල් වීමස ද සිදු වේ. මේ සඳහා මදක් රත් කර ගත් ඔලිව් තෙල් හෝ පොල් තෙල් ස්වල්පයක් යොදා ගැනීම වඩාත් යෝග්‍ය වේ. මෙසේ සම්බාහනයෙන් අනතුරුව අදාළ ස්ථානය උණුසුම් තුවායකින් හොඳන් ආවරණය කළ යුතුය. නින්දට යෑමට මත්තෙන් බයිසිකල් පදිනවා වැනි ඉරියව්වෙන් දෙපා එහා මෙහා චලනය කිරීමත් ඉතා හොඳ ක්‍රමයකි. තවද මද රස්නය ඇති ජල බඳුනකට ලුණු ස්වල්පයක් දමා දෙපා ජලයේ පෙඟවීමත්, උණු වතුර බෝතලයකින් සම්බාහනයත්, කහ සහ අබ තේ හැන්දක පමණ ප්‍රමාණයක් ආහාරයට ගෙන ඉන් අනතුරුව උණුසුම් කිරි කෝප්පයක් පානය කිරීමත් කෙණ්ඩා පෙරළීමේ වේදනාව සමනයට කදිම පිළියමකි.
චාමිකා මුණසිංහ
නව අදහස දක්වන්න