බැඳුම්කර නඩුවෙන් රවී නිදහස් | දිනමිණ

බැඳුම්කර නඩුවෙන් රවී නිදහස්

රෝෂන් තුෂාර

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් හමුවේ ගොනු කළ නඩු දෙක පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දූ කරමින් නීතිපතිවරයාට රිට් ආඥාවක් අභියාචනාධිකරණය ඊයේ (28) නිකුත් කළේය.

රවි කරුණානායක මහතා විසින් මහාධිකරණ නඩු දෙක අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් මෙම තීරණය ලබා දුන්නේය.

2016 වසරේ මාර්තු මස 29 වනදා සහ 31 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු එකොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 23ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නඩු පවරා තිබිණි.

අදාළ නඩු දෙක විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණය පොදු දේපළ පනත යටතේ වන චෝදනා පවරා පවත්වාගෙන යෑමට නොහැකි බව සඳහන් කරමින් රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් අධිචෝදනා 13කින් නිදහස් කිරීමට 2022 මාර්තු 4 වැනි දින නියෝග කළ අතර, අනෙකුත් අධිචෝදනා යටතේ දිගටම නඩු විභාගය පැවැත්විණි.

නව අදහස දක්වන්න