අද සංකේත වැඩ වර්ජනයක් | දිනමිණ

අද සංකේත වැඩ වර්ජනයක්

අනුර ප්‍රේමලාල්

ඇතැම් වෘත්තීය සමිති වර්ජනයට නෑ

බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් වරාය, තෙල්, විදුලි, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සංගම් අද (01) දිනයේ දීපව්‍යාප්ත එක් දින විරෝධතාවක් ක්‍රියාත්මක කර තිබේ.

වෛද්‍ය, දුම්රිය, ගුරු සහ තැපැල් ඇතුළු සේවා රැසක ඇතැම් වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයකට එක් නොවන අතර විරෝධතා පමණක් දැක්වීමට නියමිතය.

රජයේ බදු ප්‍රතිපත්තිය, බැංකු පොලී අනුපාත වැඩි වීම, මර්දනය ඇතුළු භාණ්ඩ මිල ඉහල යෑම නිසා ජීවන බර උග්‍ර වීම හේතු කොටගෙන මෙම විරෝධතාව දැක්වීමට අධ්‍යාපන, වරාය, විදුලිබල, සෞඛ්‍ය, තැපැල් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකම වෘත්තී සමිති රාශියක් මෙම විරෝධතාවට එක්ව සිටියි. විදුලිබල, වරාය, ජල ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල වෘත්තීය සමිති වැඩ වර්ජනයක්ද සිදු කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවාව සංවේදී සේවාවක් බැවින් ළමා, මාතෘ, පිළිකා ඇතුළු හදිසි සේවා සියල්ල සිදු කරමින් සිය විරෝධතා පවත්වන බවයි. එම නිසා දෛනික සේවාවල යම් අඩාළ වීමක් සිදු විය හැකි බවද හෙතෙම පැවසීය.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය වාත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ තැපැල්, සෞඛ්‍ය, අධ්‍යාපන, නගර සභා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති සීයක් පමණ අපේ පෙරමුණ නියෝජනය කරන අතර අපේ සාමාජිකයන් කාර්යාල ඉදිරියේ කළු කොඩි දමා, කළු කොඩි පැලඳ රාජකාරි ඉටු කරමින් ආණ්ඩුවට සිය විරෝධතාව පළ කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ලංවිම ඒකාබද්ධ පෙරමුණු සමකැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සේවකයන් අද ලෙඩ නිවාඩු දමා දිනක වැඩ වර්ජනයක යෙදෙන බවයි. මේ මණ්ඩලයේ වැඩි වෘත්තීය සමිති ප්‍රමාණයක් සහයෝගය දක්වන බවද හෙතෙම කීය.

ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ සම කැඳවුම්කරුවකු වූ ශාන්ත කුමාර මහතා කියා සිටියේ සේවයට පැමිණ දහවල් 11.00ට පමණ කාර්යාල ඉදිරියට පැමිණ විරෝධතා උද්ඝෝෂණ පවත්වන බවයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අදහස් දක්වමින් කියා සිටියේ රජයේ බදු ප්‍රතිපත්තිය, බැංකු පොලිය වැඩි වීම, ගුරු-විදුහල්පති වැටුප් විසමතා ඉවත් කිරීම සිදු කරනතුරු රුපියල් විසිදහසක දීමනාවක් ලබාදීම යන ඉල්ලීම් සිදු කරමින් තම විරෝධතාවන් කළුපටි පැලඳ, කාර්යාල ඉදිරියේ කළු කොඩිවලින් සරසමින් සිදු කරන බව ඒ මහතා කීය.

මෙහිදී තෙල්, විදුලිබල, වරාය හා ජල වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු නිරෝෂන් ගොරකාන මහතා කියා සිටියේ අකුරට වැඩ විරෝධතාවක් තම සන්ධානය සිදු කරන බවයි. ඒ අනුව අද උදෑසන 7.00 පැයේ සිට පසුදිස 7.00 දක්වා මේ විරෝධතාව සිදු වන බව හෙතෙම කීය. උදේ අත්පත්‍රිකා බෙදමින් දහවල් 12.00ට වරාය ප්‍රධාන දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයක්ද සිදු කරන අතර අනෙකුත් වෘත්තීය සමිතිද ප්‍රධාන කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ විරෝධතා සිදු කරන බව ඒ මහතා වැඩිදුරටත් කීවේය.

නව අදහස දක්වන්න