ගොවීන් ලක්ෂ 12කට මඩ පොහොර නොමිලේ | දිනමිණ

ගොවීන් ලක්ෂ 12කට මඩ පොහොර නොමිලේ

2022 මහ කන්නයේ කුඹුරු හෙක්ටෙයාර් හත්ලක්ෂ අසූදහසක් වී වගා කළ ගොවීන් ලක්ෂ 12කට 2023 යල කන්නයේ කුඹුරු වගා කළත් නොකළත් TSP හෙවත් මඩ පොහොර නිර්දේශිත ප්‍රමාණය ම නොමිලයේ ලබා දීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(01) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීය. 
 
විශේෂයෙන් මෙරට වගා කන්න තුනකට පසුව සියලු රසායනික පොහොර වර්ග වී වගාව සඳහා එකවර ලැබෙන වගා කන්නය මෙවර යල කන්නය වේ. ඒ අනුව TSP හෙවත් මඩ පොහොර, යුරියා පොහොර, MOP  හෙවත් බන්ඩි පොහොර  හා කාබනික  පොහොර භාවිතා කරන ගොවීන් සඳහා කාබනික පොහොර ද ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
 
මඩ පොහොර නොමිලයේ සියලු ගොවීන්ට ලබා දෙන අතර බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 19,500 සිට රුපියල් 10,000 දක්වා අඩු කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ඒ සඳහා මේ වනවිට ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුවේ එකඟතාවය ලැබී තිබේ. ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත බන්ඩි පොහොර මිටියක් රුපියල් 10,000ක් බැගින් ගොවීන්ට මිල දී ගැනීමට අවස්ථාව සැළසේ.
 
මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක  සහිත නෞකාව  ඊජිප්තුවේ සිට මෙම 20 වන විට අප රටට ලැබීමට නියමිතය. දැනට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 30, 000 ක් ගබඩා සතුව පවතී. තවත් මෙට්‍රික් ටොන් 50,000ක් මිල දී ගැනීමට අදාල ප්‍රසම්පාදන කටයුතු අවසන් වෙමින් පවතී.
 
එමෙන්ම බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 38,000ක් පමණ රජයේ  පොහොර සංස්ථා සතුව තිබේ. මේ නිසා මෙවර යල් කන්නයේ දී කිසිදු හිඟයකින් තොරව වී වගාවට අවශ්‍ය සියලු පොහොර වගා කටයුතු ආරම්භයේ දීම ගොවීන්ට ලබා දීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

නව අදහස දක්වන්න