මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය හරහා බස් ගමන් සාර්ථකයි | දිනමිණ

මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය හරහා බස් ගමන් සාර්ථකයි

හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීමේ ක්‍රමවේදය ඊයේ (01) සිට ආරම්භ කෙරුණු අතර, එය ඉතා සාර්ථකව ක්‍රියාවට නැංවෙන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා දිනමිණට ඊයේ (01) ප්‍රකාශ කළේය.

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ඊයේ (01) මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසකට පිළියම් දෙමින් ක්‍රියාත්මක වන මේ නීතිය ඉතාමත් වැදගත් වනු ඇති බවත් ඊට අනුගත නොවන පිරිස් හඳුනා ගැනීම සඳහා ජංගම පරීක්ෂණ කණ්ඩායම් සහ රථ වාහන පොලිසියේද සහාය ගනිමින් කටයුතු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරන බවයි.

ඊයේ සිට ක්‍රියාත්මක වන මේ නීතියට පටහැණි වන ලෙස ප්‍රධාන මාර්ගය අවහිර වන පරිදි කටයුතු කිරීම, අවිධිමත් ලෙස නීතිවිරෝධීව මගීන් නංවා ගැනීම සහ බැස්සවීම, මාර්ගය අවහිර කිරීම, රථ වාහන පාලනය සහ මාර්ගයේ ආරක්ෂාවට පටහැණි වන පරිදි කටයුතු කිරීම වැරදිකරුවන් ලෙස සැලකීමට හේතු වන බවත් එබැවින් බස් රථවල රියැදුරන් සහ කොන්දොස්තරවරුන් මේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වගබලා ගත යුතුයි.

ඒ අනුව 1984 අංක 40 දරන මෝටර් රථ වාහන පනතේ 106-6 වැනි වගන්තිය ප්‍රකාරව හයිලෙවල් මාර්ගයේ කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ අවිධිමත් හා නීති විරෝධී ලෙස මගීන් නංවා ගැනීම සහ බැස්සවීම සඳහා වාහන නැවැත්වීම සපුරා තහනම් වේ. එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණ ඒ හරහා ගමන් කිරීම කළ යුතු බවට එමඟින් නියම කර තිබේ.

රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම බස් රථවලට මේ නීතිය බල පවත්වන අතර, ලංකා ගමනාගමන මණ්ඩලය වෙත මේ පිළිබඳව ලිඛිතව නිල වශයෙන් දැනුම් දී ඇත. එසේම ජාතික ගමනාගමන කොමිසම හරහා පෞද්ගලික බස් රථ වෙත ද මේ නීතිය පිළිබඳව දැනුම් දී තිබේ. මේ නීති රීතිවලට අනුකූල නොවන යම් අයකු වෙතොත් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර අදාළ ගමන් බලපත්‍රය අහෝසි කිරීමට ද සිදු වන බව එමඟින් දැනුම් දී තිබෙන බවද හෙතෙම කීවේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංගම සභාපති S.M.D.L.K.D. අල්විස් මහතා කියා සිටියේ හයිලෙවල් මාර්ගයේ ධාවනය වන සියලුම ලංගම බස් රථ ඊයේ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කළ බවයි. මිනිසුන් ක්‍රමක්‍රමයෙන් කෙටි දුර ගමන් සඳහා මෙම බහුවිධ මධ්‍යස්ථානය භාවිත කිරීමට පුරුදු වන බැවින් මෙම උත්සාහය සාර්ථක වීමට යම් කාලයක් ගතවනු ඇති බවද හෙතෙම පැවසීය.

ප්‍රධාන මාර්ගය අවහිර කිරීම, මාර්ගය අවහිර කරන මගීන් නීති විරෝධී ලෙස නංවා ගැනීම සහ බැසීම ඊයේ සිට වරදක් ලෙස සලකන බවත් එබැවින් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සැලකිලිමත් විය යුතුයි.

මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක මහතා.

මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය පසු කර ධාවනය වන සියලු බස් රථ එම මධ්‍යස්ථානය හරහා ධාවනය කිරීම නිසා ජනතාවට පහසුකම් රැසක් හිමි වෙනවා. ඒ මඟින් ජනතාවට ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමේ ප්‍රවාහන පහසුකම් ලබාගත හැකියි. මෙය ප්‍රවාහන හා මාහාමාර්ග අමාත්‍යාංශය හා එක්ව ලංකා ගමනා ගමන මණ්ඩලය, පොලිසිය එක්ව මෙය ක්‍රියාත්මක කරනවා. මේ මඟින් සියලු දෙනාටම ක්‍රමවත් ක්‍රම වේදයක් යටතේ සියලු දේ ක්‍රියාත්මක වෙනවා.

සුභාෂිණී සේනානායක

 

නව අදහස දක්වන්න