සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ සුදුස්සන් හඳුනා ගැනීම ගැන දැනුම් දීමක් | දිනමිණ

සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ සුදුස්සන් හඳුනා ගැනීම ගැන දැනුම් දීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි අවසන් දිනය මාර්තු 31 වන දා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.
 
නියමිත දිනට පෙර දත්ත ලබා දීමට අපොහොසත් වන අයදුම්කරුවන්ට ප්‍රතිලාභ අහිමි වීමේ අවදානමක් ඇති විය හැකි බව ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි.
 
සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු සඳහා යොදවා සිටින ක්ෂේත්‍ර නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සියලු අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.
 
2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධි විධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළ කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද 2022 අංක 1 දරණ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැනවූ 2022 දෙසැම්බර් 15 දිනැති අංක 2310/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
 
සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් තෝරා ගැනීමට අයදුම් පත් කැඳවීමේ ක්‍රියාවලිය දැනටමත් අවසන් කර ඇත. ඒ අනුව ‍ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 37,28139කි.
 
මේ අතරින් ඊයේ (01) දින වන විට නිවැරදි දත්ත ලබා දී තිබෙන්නේ අයදුම්කරුවන් 102,143 ක් පමණි.
 
සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු සමීක්ෂණය සඳහා දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියට දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන ආකාරයට නිලධාරීන් 6728 ක් යොදවා ඇත. සංවර්ධන නිලධාරීන් 3190, ආර්ථික සංවර්ධන නිලධාරීන් 494ක්, ග්‍රාම නිලධාරීන් 205ක්, වෙනත් නිලධාරීන් 1127ක් සහ තාවකාලිකව බඳවා ගත් 1712 දෙනකු ඊට ඇතුළත්ය.
 
අදාළ නිලධාරීන් වෙත නිවැරදි තොරතුරු ලබා දීමට අයදුම්කරුවන් කටයුතු කළ යුතු අතර එහිදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ ලේඛනයේ ලියාපදිංචි අංකය හෝ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන ලිපිය ඉදිරිපත් කළ යුතුය.
 
එසේම වකුගඩු රෝගී සහ ආබාධිත පුද්ගලයින්ගේ සායන සහ වෛද්‍ය වාර්තා, ජල හා විදුලි බිල්පත් ද ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.
 
“ඇත්තම කියමු- ඇත්තම අයට ප්‍රතිලාභ ලබා දෙමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන දත්ත ලබා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු නිවැරදි දත්ත ලබා දුන් බවට වූ ප්‍රකාශයට අත්සන් තැබිය යුතු අතර සෑම නිවසකටම QR කේතයක් ලබා දීම ද සිදු කෙරේ.
 
මෙම QR කේතය භාවිතා කර තමා ලබා දුන් දත්තවල සාරාංශය නිරීක්ෂණයට ද අවස්ථාව සලසා ඇත.

නව අදහස දක්වන්න