දින 90ක් තුළ මැතිවරණය පවත්වන්න පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග | දිනමිණ

දින 90ක් තුළ මැතිවරණය පවත්වන්න පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කැපී පෙනෙන ලක්ෂණයක් බව ද, පාර්ලිමේන්තුව හෝ පළාත් සභා නොමැතිව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පැවැතිය නොහැකි බව ද කියමින් දැනට අත්හිටුවා ඇති පාකිස්තානයේ ප්‍රාන්ත දෙකක මැතිවරණය වහාම පවත්වන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම එම ප්‍රාන්ත ද්විත්වයේ මැතිවරණය දින 90ක් ඇතුළත පවත්වන ලෙසත් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. පාකිස්තානයේ පන්ජාබ් සහ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්ත ද්විත්වයේ මැතිවරණය පැවැත්වීමට නියෝග කර ඇත්තේ විනිසුරු උමාර් අටා බන්ඩියල්ගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසිනි. මේ සඳහා විනිසුරු මඬුල්ලේ 3-2ක එකඟතාව පළ වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

එම ප්‍රාන්තවල පාලනය හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයට ලැබී තිබූ අතර, විශ්වාසභංග යෝජනාවකින් ඔහුට තනතුර අහිමිවීමෙන් පසු එම ප්‍රාන්ත දෙකම විසුරුවා හැරීමට නියෝග කළ ශෙබාස් ෂරිෆ් අතුරු රජයක් එහි ස්ථාපිත කර තිබිණි. පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක් විසුරුවා හැරීමෙන් දින 90ක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතුය. පන්ජාබ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර මුහම්මද් බාලිග් උර් රෙහ්මාන් සභාව විසුරුවා හැරීමේ නියෝගයට අත්සන් නොකළ බැවින් එම පළාතේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම ජනාධිපතිවරයාට ඇති බව අධිකරණය ප්‍රකාශ කළේය.

 

නව අදහස දක්වන්න