කොරියාවෙන් සෞඛ්‍ය ආධාර | දිනමිණ

කොරියාවෙන් සෞඛ්‍ය ආධාර

වෛද්‍ය උපකරණයන්හි නිරවද්‍යතාවය, ක්‍රමාංකනය හා පරීක්ෂා කිරීම සඳහා වන උපකරණ කට්ටල අමරිකානු ඩොලර් 612,039 ක තොගයක් කොරියානු සංවිධානයක් වන KOFIH (Korean Foundation of International Healthcare) සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත එම උපකරණ තොගය ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන් ජින් ජියෝං (WoonjinJeong) මහතා හා KOFIH සංවිධානයේ සභාපති Chung Yu King මහතා විසින් අද (17)නිල වශයෙන් භාර දෙනු ලැබීය.

රෝහල්වල ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, රසායනාගාර ආදියෙහි භාවිත කරන විවිධ උපකරණවල පාඨාංක ක්‍රමාංකනයට හා ක්‍රියාවලියන්හි නිර්වද්‍යතාවය පරීක්ෂා කිරීමට මෙම උපකරණ භාවිත වේ. මෙලෙස ප්‍රදානය කෙරුණු උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකය වෙත භාර දුන් අතර, අදාළ උපකරණ අත්‍යවශ්‍යතාවය මත ඉංජිනේරු සේවා ඒකක සහිත දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් වෙත ලබා දීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා.

කොරියානු රාජ්‍යය අතීතයේ සිටම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙරටට සහයෝගය ලබා දුන් බවත්, ඒ තුළ දෙරට අතර, දිගුකාලීන සමීප මිත්‍රත්වයක් පවතින බවත් පැවසීය. ලොව බොහෝ රටවල් ශ්‍රී ලංකාවට මේ මොහොතේ ලබා දෙන සහයෝගය ඔස්සේ පවතින අභියෝගය සමනය කරගත හැකි යැයි ද ඒ තුළ මේ වන විට අපේක්ෂා සහිත තත්ත්වයක් පෙන්නුම් කෙරෙන බවද ඇමැතිවරයා මෙහිදී කීය.

මෙරට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව මඟින් රටේ ජනතාවට සෑම රජයක්ම විශාල වැයක් දරන බවත් ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. රට තුළ පවතින ඖෂධ හිඟයට විසඳුම් රැසක් මේ වන විට ගනු ලබමින් තිබෙන බවත්, ඒ තුළ කුමන ඖෂධ හිඟයක් පැමිණියද ජනතාවගේ ජීවිතයනට තර්ජනයක් නොවන මට්ටමින් සමනය කර ගැනීමට හැකිව තිබෙන බවත් හෙතෙම පැවසීය. මේ වන විටත් ජීවිතාරක්ෂක ඖෂධ14 ම මෙරට පවතින්නේ යැයිද අත්‍යවශ්‍ය ඖෂධවල පවතින අඩුපාඩුව මේ වන විට කළමනාකරණය කර ගනිමින් සිටින්නේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති WoonjinJeong මහතා KOFIH සංවිධානයේ සභාපති Chung Yu King මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා) ජනකප්‍රිය කරුණාතිලක මහතා ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් පිරිසක් ද මෙම අවස්ථා සඳහා සහභාගි වූහ.


සුව ධරණී - සුව දැක්ම බත්තරමුල්ලේදී

දේශීය වෛද්‍ය හා ආයුර්වේද ක්ෂේත්‍රය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා එහි උන්නතිය වෙනුවෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන “සුව ධරණී - සුව දැක්ම - දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය - 2023” පෙබරවාරි මස 22 සහ 23 දෙදින බත්තරමුල්ල, දියත උයන පරිශ්‍ර‍ෙය්දී පැවැත්විණි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කර තිබූ මෙම ප්‍රදර්ශනය වෙත පැමිණි ජනතාව වෙත ළමා හා කාන්තා රෝග සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්ය ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සර්වාංග රෝග සඳහා පාරම්පරික, ආයුර්වේද, හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් නොමිලේ ලබා ගත හැකි විය. ප්‍රදර්ශනය දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ අලෙවි කුටි / ආයුර්වේද රූපලාවණ්‍ය සේවාවන් පංචකර්ම චිකිත්සක සේවාවන් සහ වස විසෙන් තොර දේශීය ආහාර අලෙවි කුටි මෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතිකාංග රැසකින් සමන්විතව තිබුණි.

නව අදහස දක්වන්න