නිදහස් ජාතියකට මඟ කියන දිනේෂ් ගුණවර්ධන දැක්ම | දිනමිණ

නිදහස් ජාතියකට මඟ කියන දිනේෂ් ගුණවර්ධන දැක්ම

(1949 උපන් දිනේෂ් ගුණවර්ධනයන්ගේ උපන් දිනය අදට(02) යෙදී තිබේ. මේ සටහනින් සිදු කෙරෙන්නේ 2023 පෙබරවාරි 10 වැනිදා පාර්ලිමේන්තුවේ ඔහු කළ කතාවෙන් “දිනේෂ් ගුණවර්ධන දර්ශනය” දෙසට එබී බැලීමකි.)

1973 ඇරඹි ඔහුගේ ක්‍රියාකාරී දේශපාලනයට වසර 50කි. කම්කරු නායකයකු ලෙස, ජාතික නායකයකු ලෙස අඛණ්ඩ දේශපාලන ගමනක පැමිණි ඔහු වර්තමානයේ මෙරට අග්‍රාමාත්‍යවරයාය. ශ්‍රී ලංකා ඉතිහාසයේ, ජාතික දේශපාලනයේ සැම විටම ප්‍රගතිශීලි පිලේ සිටගනිමින්, තනතුරුවලට ගිජු නොවී, ඍජුව කටයුතු කරමින්, සම්බුදු සසුන, ජාතිය, ඒකීය රට, පොදු ජනයා සුරැකීමේ නොසැලෙන දර්ශනයෙන් යුතුව ඉදිරියට යන දිනේෂ් ගුණවර්ධනයන්ගේ ජාතික නායකත්වයට, හිමිව ඇත්තේ සුවිශේෂි ස්ථානයකි.

වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ කතාව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය යුතු රටේ අනාගතය පිළිබඳ වැදගත් දැක්මක් සහිත කතාවක් ලෙස සැලකිය හැකිය. එසේ වීමට තවත් වැදගත් හේතුවක් වන්නේ, එය නව වන පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කළ කතාව වීමය. රට මුහුණදෙන ආර්ථික අර්බුදය, එය විසඳා ගැනීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ගෙනයන ක්‍රියාමාර්ග, එමෙන්ම රට අහරින් සුරක්ෂිත කිරීම උදෙසා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ, ප්‍රයෝජනයට නොගන්න ඉඩම් සියල්ල වගාව සඳහා යොදාගැනීමට ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණයක ඇති අවශ්‍යතාව, පෞද්ගලික අංශයද සම්බන්ධ කරගෙන ඒ ඔස්සේ රටට ආර්ථික විශ්වාසයක් ගෙන ඒම, රාජ්‍ය, පෞද්ගලික අංශ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව, ලාභ නොලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පරිවර්තනය කිරීම, රාජ්‍ය අංශය තම වැය ශීර්ෂයෙන් නාස්තිය-දූෂණය කපා හැරීම, අඩු ආදායම් ලබන ජනතාවගේ සුරක්ෂිතබව සහතික කර සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීම, බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය, 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර, රටේ ඒකීයභාවය සුරකිමින් දිස්ත්‍රික් කේන්ද්‍ර කරගත් සංවර්ධන සැලැස්ම, මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ආදී ප්‍රතිපත්ති මෙන්ම ප්‍රයෝගික වැඩපිළිවෙළ පිළිබඳ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දීර්ඝ විස්තරයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ සියල්ල පිළිබඳ නොවුණත් ඉදිරි වසර 25 නැතහොත් නිදහසේ අවුරුදු 100 සපිරෙන විට රටක් ලෙස අපි සියලු දෙනා සිටිය යුතු ස්ථානය ගැන පැහැදිලි දැක්මක් ඉදිරිපත් කළ එම කතාවේ අන්තර්ගත වූ ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණය, දිස්ත්‍රික්කය පදනම් කරගත් සංවර්ධනය, පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම, රටේ ඒකීයභාවය සහ මිශ්‍ර මැතිවරණ ක්‍රමය යන ප්‍රමුඛ මාතෘකා කීපයක් විග්‍රහ කර ගැනීම වැදගත්ය.

ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණය

මේ කතාවේ ඉතා වැදගත් මාතෘකාවක් වූයේ ජාතික මට්ටමින් කළ යුතු ඉඩම් ප්‍රතිසංස්කරණයයි. ඔහු මෙසේ කීවේය. “ජනාධිපතිගේ කතා වාරයේදී සඳහන් කළා, ඉඩම් ප්‍රශ්නය ගැන, පසුගිය අය වැය ලේඛනයේදීත් ඉදිරිපත් කළා. මේ ඉඩම් ප්‍රතිසංස්කරණය අවශ්‍යයයි. ඉඩම්, දේශීය කෘෂිකර්මය සඳහා, අපනයන කෘෂිකර්මය සඳහා, අනෙකුත් නිෂ්පාදන ක්ෂේත්‍ර සඳහා යොදාගන්නා අතර, යම් කිසි ඉඩම් ප්‍රතිසංස්කරණයක් විය යුතු බව, රට පුරා අද දිසාපති කාර්යාල , ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉල්ලා සිටින හඬ බවට පරිවර්තනය වී තිබෙනවා. පාව්ච්චි නොකරන, ඒ කියන්නේ කිසිම ප්‍රයෝජනයකට භාජනය නොකරන ඉඩම් දහස් ගණන් රට පුරා තිබෙනවා. ඒ නිසා එය ජනාධිපතිතුමා ප්‍රකාශ කිරීම වැදගත්. රටේ සියලු ප්‍රදේශවල ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන යෑම, අවශ්‍යම කාල පරිච්ඡේදයක් හැටියටයි මම මේ කාලය දකින්නේ. අපි අනාගත ලංකාවට ගමන් කිරීමේදී, ඉදිරි අවුරුදු 25ක් තුළ දියුණු රටක් බවට ගමන් කිරීමේදී, එය ඉෂ්ට කිරීම, ඒ සඳහා ජාතික වශයෙන් වැදගත් වැඩපිළිවෙළක් ගෙන යෑම අවශ්‍ය වී තිබෙනවා.’

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, ‘ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු' ගම් මට්ටමින් පිහිටුවා එය ජාතික වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ තීරණයක් අනුව අග්‍රාමාත්‍යවරයා හරහා ක්‍රියාත්මක මේ වැඩපිළිවෙළේදී ජනතාව මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වූයේ වගා කිරීම සඳහා නව ඉඩම් සොයාගැනීමයි. කඳුකරයේ තරුණ පිරිස් පවා අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ඉඩම් දෙන්නේ නම් වගා කිරීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළහ. එහෙත් විවිධ රාජ්‍ය ආයතනවල අණ පනත් සහ ඉඩම් සම්බන්ධ ප්‍රධාන පෙළේ ආයතනවල ක්‍රියාත්මක නීති මත මෙය විසඳා ගැනීම අතිශය දුෂ්කර තත්ත්වයක් බවට පත්ව තිබේ. මේ නිසා ප්‍රයෝජනයට නොගන්නා, රටේ සියලු ඉඩම් වගාව සඳහා, ආර්ථික ප්‍රයෝජනයක් සඳහා යොදාගත හැකි, සරල එක ම ක්‍රමවේදයක් ජාතික මට්ටමින් සැකසිය යුතුව තිබේ. ඒ සඳහා වන අග්‍රාමාත්‍යවරයාගේ දැක්ම, ප්‍රයෝගික සංවර්ධන මාවත ඔස්සේ වැටී තිබීම අගය කළ යුතුය. යැපීම් කෘෂිකර්මාන්තය පමණක් නොව අපනයන කෘෂිකර්මාන්තය ඔස්සේ රටට ඉතිරි කරගත හැකි විදේශ විනිමය මෙන්ම උපයා ගත හැකි විදේශ විනිමය පිළිබඳ ගැඹුරු වැඩපිළිවෙළ මේ දැක්ම තුළ අඩංගුය. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු කතාවේදී ඒ පිළිබඳ සිය දැක්ම මෙසේ ඉදිරිපත් කළේය.” ඔබත්, අපිත් ඉතා පැහැදිලිව දන්නවා, සංවර්ධනය සිද්ධ වෙන්නේ දිස්ත්‍රික් මට්ටමින්. එම නිසා දිස්ත්‍රික්කය වඩා ශක්තිමත් කළ යුතුයි. ජනාධිපතිගේ කතාවේදී, දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගත් සංවර්ධන වැඩපිළිවෙළක් ඇති කිරීමේ, පරිපාලන ව්‍යුහයේ විශාල වෙනස්කමකට පරිවර්තනය කිරීමට යෝජනා කරනවා. දිස්ත්‍රික්කය තමයි මහජනයාට කිට්ටු. දිස්ත්‍රික්කයෙන් තමයි ඔබයි මමයි පත් වෙන්නේ. මේ දිස්ත්‍රික්කය අමතක කර වැඩ කරන්න බැරි බව ලක් ඉතිහාසය ම කියා පානවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරන් බැලුවොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ දිස්ත්‍රික්කයයි. මේ 1978 ව්‍යවස්ථාව කියවා බලන්න. එහි තිබෙන්නේ දිස්ත්‍රික්කයයි. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමයි පළාත කියන දේ අන්තර්ගත කළේ. ඒ නිසා DRO ක්‍රමයේ සිට, අපි සංවර්ධනය මූලධර්මය කරගත් පදනම වුණේ දිස්ත්‍රික්කයයි. දිස්ත්‍රික්කය තමයි නීතිගත කර තියෙන්නේ. දිස්ත්‍රික් පනතක් තියෙනවා, ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කරපු. ඒ නිසා දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් ජාතික මහා සංවර්ධන සැලැස්මක, දියුණු දිස්ත්‍රික් හා අඩුවෙන් දියුණු වූ දිස්ත්‍රික්ක අතර තිබෙන මහා පරතරය වෙනස් කර සංවර්ධනයේ දියුණුව භුක්කි විඳින්න ඈත එපිට ජීවත්වන ජනතාවටද, ඒ කියන්නේ උතුරේ වේවා, නැඟෙනහිර වේවා, බටහිර වේවා, කන්ද උඩරට වේවා, අවස්ථාව සැලසීම සඳහා වූ ප්‍රතිසංස්කරණයකට, අපි, ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කර තිබෙනවා.Ó

පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම

පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ හසල දැනුමක් ප්‍රායෝගිකවම ඇති දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා, ඒ වෙනුවෙන් විශාල ලෙස උනන්දුවක් ද දක්වන්නෙකි. සභානායකවරයා ලෙස කටයුතු කර ඇති ඔහුගේ පාර්ලිමේන්තු දිවියේ ආරම්භය 1983 දක්වා ඈතට දිවෙන්නකි. විපක්ෂයේ මන්ත්‍රීවරයකු සේම ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඔහු ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙසද කටයුතු කළේය. ඒ සෑම අවස්ථාවක ම වගේ මෙවර අග්‍රාමාත්‍යවරයා ලෙසද ඔහු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පිළිබඳ සුවිශාල උනන්දුවක් දක්වමින් සිටී.

ඔහුගේ මහත් උත්සාහය මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ක්‍රමයට එක්වූ නවතම ප්‍රජාතන්ත්‍රවාදී අංගය වන්නේ ජාතික සභාවයි. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ, 'ජාතික සභාව' පිහිටුවීමේ යෝජනාව විරෝධතාවකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ 2022.09.20 දිනය. කෙටි, මධ්‍යම, සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීම, ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යම කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇතිකර ගැනීම, එහි වගකීම් අතර වේ. ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැඳවීමේ බලයද ' ජාතික සභාව'ට හිමිවේ.

පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා සිය පාර්ලිමේන්තු කතාවේදී පැහැදිලි කළේය.

“කාරක සභා ක්‍රමය පාර්ලිමේන්තුවට අවශ්‍ය බව පිළිගෙන කාරක සභා රාශියක් ඇති කරන්න සංශෝධන ඉදිරිපත් කර තියෙනවා. එහෙත් විරුද්ධ පක්ෂයේ ඔබතුමාලා ඒවා වර්ජනය කරනවා. ජාතික සභාව ආදී ඉල්ලපු දේ ඇති කළාම වර්ජනය කරනවා. එහෙම නොවෙයි. ඒ සඳහා සහභාගිත්වයෙන් අපි ඉදිරියට ගමන් කරන්න ඕනෑ. ව්‍යවස්ථාවට 21 සංශෝධනය ගෙනාවා. ඒ නිසා 78 ව්‍යවස්ථාවේ තිබුණු දේ‍ නෙවෙයි දැන් තියෙන්නේ. නොයෙක් ආකාරවලින් නොයෙක් ක්ෂේත්‍රවලින් මේ ව්‍යවස්ථාව වෙනස් වෙමින් තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාකාරී බවට පරිවර්තනය කරන්න සැම දෙනාගේ සහයොගය අවශ්‍ය වෙනවා. ඒ තුළින් එම කොමිෂන් සභා රටටම බලපාන ලෙස කටයුතු කිරීමේ බලය නොවෙනස්ව පවතින බව ජනාධිපති ප්‍රකාශ කළා. මේ අ‍ාණ්ඩුක්‍රමයේ විකාශය දිහා බැලිය යුතුය. ජනාධිපතිගේ බලතල රාශියක් පාර්ලිමේන්තුවට පවරා තියෙනවා.

රටේ ඒකීයභාවය සහ මිශ්‍ර මැතිවරණ ක්‍රමය

එම කතාවේදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඡන්ද ක්‍රමය පිළිබඳව, රටේ ඒකීයභාවය පිළිබඳව තමා නියෝජනය කරන දේශපාලන ප්‍රවාහයේ මතය ම.එ.පෙ. නායකයා ලෙස පැහැදිලිව රට ඉදිරියේ තැබීය. ඔහු කීවේ, “අපි, අපේ මහජන එක්සත් පෙරමුණෙත් මේ ආණ්ඩුවේ කොටස්කාර පක්ෂ ගණනාවෙන් එකක් හැටියට නිකුත් කරපු ප්‍රකාශයක් තියෙනවා 2023 ජනවාරි 31 වැනිදා. මහජන එක්සත් පෙරමුණ මධ්‍යම කාරක සභාව ඉතා පැහැදිලිව දශක ගණනාවක අඛණ්ඩ නොසැලී ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය සුරැකීමට මහත් කැපවීම කළ දේශපාලන ප්‍රවාහයක් හැටියට තවදුරටත් එය ශක්තිමත් කිරීමට වඩාත් කැප වී සිටින බව අවධාරණය කරනවා. ම.එ.පෙ. 1980 දශකයේ මුල සිට ම යෝජනා කරමින් සිටිනුයේ පරිපාලන ක්‍රමවේදයට සමාන්තරව දිස්ත්‍රික්ක ඒකකය ලෙස පදනම් කරගත් සංවර්ධන ඉලක්ක යථාර්ථයක් කළ හැකි ව්‍යුහගත වීමක්. ම.එ.පෙ. කේවල් ආසන වැඩි වැඩියෙන් ඇති මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් පිළිබඳ පවතින සමාජ දේශපාලන, ආර්ථික වුවමනාව ජාතික අවශ්‍යතාවක් ලෙස යළි නැවතත් මතක් කර සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ පරම වගකීමකට අඛණ්ඩව නෙසැලී කැප වී සිටින බව අප ප්‍රකාශ කරනවා.Ó යනුවෙනි.

මෙරට මැතිවරණ ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවස්ථා රැසක කටයුතු කර තිබේ. අවසන් වරට ක්‍රියාත්මක වූ ඒ ආකාරයේ කමිටුව වූ ‘මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ’ අවසන් වාර්තාව, එහි සභාපතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා, 2022.06.22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙරට පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් නිරීක්ෂණ 25ක් හා නිර්දේශ 15ක් ඊට ඇතුළත්ය. මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට, කාන්තා - තරුණ නියෝජනය ශක්තිමත් කිරීමට, පූර්ව ඡන්දය, විද්‍යුත් ඡන්දයට, මැතිවරණ කාලය අඩු කිරීමට, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිත කරනු ලැබීම වැළැක්වීමට, දේශපාලන පක්ෂ පිළිගැනීමට නව යෝජනා ඇතුළු නිර්දේශ ඊට ඇතුළත් විය. මේ සඳහා මෙරට දේශපාලන පක්ෂවල, ඡන්ද නිරීක්ෂණ සංවිධානවල, වෙනත් සංවිධානවල, ජනමාධ්‍ය ආයතනවල, සාමාන්‍ය ජනතාවගේ ආදී සියලු අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා දිනේෂ් ගුණවර්ධන කමිටුව විසින් සැලකිල්ලට ගනු ලැබීය. මෑතකදී මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර, ඊට පාදක වූයේද එම කමිටුවේ නිර්දේශයන්ය.

මාතෘකා කීපයක් ඔස්සේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ දැක්ම පිළිබඳ මෙහිදී යම් විමසීමකට ලක් කළද ඔහු රට සමබර කිරීමට දරන නොපෙනෙන උත්සාහය ඒ තුළින් විද්‍යමාන වන බව පැහැදිලිය. එය නිදහසේ 100 වන සැමරුමේදී ආර්ථිකය ප්‍රමුඛ කරගත්, වඩා නිදහස් ජාතියකට මඟ එළිපෙහෙළි කරනු ඇත.

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

නව අදහස දක්වන්න