අවසන් සටනේදී දඹුලු පළමු ඉනිම ලකුණු 248කට සීමා වෙයි | දිනමිණ

අවසන් සටනේදී දඹුලු පළමු ඉනිම ලකුණු 248කට සීමා වෙයි

ගාලු ප්‍රබලයෝ 4ක් වේලාසනින්ම ක්‍රීඩාගාරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල පළමු ඉනිම ලකුණු 248කට සීමා විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය ඊයේ පළමු දිනයට නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ගාල්ල කණ්ඩායම අසීරු තත්ත්වයක පසු වූයේ ලකුණු 26කට මුල් කඩුලු 4 අහිමි වීම හේතුවෙනි. මේ අනුව ගාල්ල කණ්ඩායම දඹුල්ල පළමු ඉනිමට වඩා ලකුණු 222ක් පසුපසින් සිටින්නේ කඩුලු 6ක් පමණක් අතැතිවය.

නායක සංගීත් කුරේ (2), සොහාන් ඩි ලිවේරා (7), ලක්ෂාන් එදිරිසිංහ (4) සහ දුනිත් වෙල්ලාලගේ (3) දැවී ගිය පිතිකරුවන් අතරට එක් වූහ. පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් දඹුලු ඉනිමේදී ආරම්භක පිතිකරු අභිෂේක් ලියනාරච්චි (54) සහ නායක මිනෝද් භානුක (50) අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.

පන්දු 75කදී හතරේ පහර 7ක් සහ හයේ පහරකින් සිය ලකුණු 54 රැස් කර ගත් අභිෂේක් දෙවැනි කඩුල්ලට පවන් රත්නායක (31) සමඟින් ලකුණු 77ක් එක් කළේය. මිනෝද් සමඟින් එක්ව සනෝජ් දර්ශික (37) සිව්වැනි කඩුල්ලට ලකුණු 78ක් එක් කළ අතර, මිනෝද් පන්දු 84කදී හතරේ පහර 5ක් එල්ල කර තිබිණි.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ කඩුලු 5ක් බිඳ දැමූ අතර, ඉනිමේ 51 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකින් සනේජ් සහ අශාන් ප්‍රියංජන් (0) දවාගත් ඔහු 61 වැනි ඕවරයේදී වනිඳු හසරංග (15) සහ රනිත ලියනාරච්චි (1) දවා ගත්තේය.

කවිෂ්ක අංජුල කඩුලු 2ක් දවාගත් අතර, සංගීත් කුරේ සහ සුමින්ද ලක්ෂාන් කඩුලු බැගින් දවා ගත්හ.

අද තරගයේ දෙවැනි දිනයයි.

දඹුල්ල පළමු ඉනිම - 248 (ඕවර 72.1) අභිෂේක් ලියනාරච්චි 54, මිනෝද් භානුක 50 (දුනිත් වෙල්ලාලගේ 58/5, කවිෂ්ක අංජුල 38/2)

ගාල්ල පළමු ඉනිම - 26/4 (ඕවර 10) (වනිඳු හසරංග 13/2)

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න