අපනයන ආදායම ඩොලර් කෝටි 100 ඉක්මවයි | දිනමිණ

අපනයන ආදායම ඩොලර් කෝටි 100 ඉක්මවයි

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ස්ථාවර මට්ටමකට පැමිණෙමින් මේ වසරේ ජනවාරි මාසයේදීද වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්තවලට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයන අාදායම අ.ඩො. මිලියන 1,000.9ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

පසුගිය 2022 වසරේ ජනවාරි මාසයේ අ.ඩො. මිලියන 1,100.9ක අපනයන ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන නමුත් මේ වසරේ ජනවාරි මාසයේ එය 8.98%ක පහළ යෑමක් පෙන්නුම් කරන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි. කෙසේ වුවද පසුගිය 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 6.97%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

කෙසේ වුවද වැඩිම අපනයන ආදායමක් ඇඟලුම් හා රෙදිපිළි අපනයනයෙන් වාර්තා කර තිබෙන අතර, එය අ.ඩො. මිලියන 423.13ක් බවද තේ අපනයනයෙන් අ.ඩො. 99.56%ක් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් අ.ඩො. මිලියන 75.89ක ආදායමක් උපයා තිබෙන බවද අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර පසුගිය ජනවාරි මාසයේ වැඩිම අපනයනයක් අමෙරිකා එක්සත් ජනපදයට සිදු කර තිබෙන අතර එහි වටිනාකම අ.ඩො. මිලියන 254.78ක් වෙයි. ඊට අමතරව එක්සත් රාජධානියට අ.ඩො. මිලියන 77.42ක්ද ඉන්දියාවට අ.ඩො. මිලියන 69.58ක්ද ජර්මනියට අ.ඩො. මිලියන 48.12ක්ද සිදු කර තිබේ. මේ අතර ඉතාලිය, නෙදර්ලන්තය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බෙල්ජියම, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය, බංග්ලාදේශය සහ මෙක්සිකෝව ඇතුළු රටවල් රැසකට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවා අපනයනය කර ඇත.

නව අදහස දක්වන්න