අත්හැර දැමූ වැව් 30ක් මේ වසර තුළ ප්‍රතිසංස්කරණය පියවර | දිනමිණ

අත්හැර දැමූ වැව් 30ක් මේ වසර තුළ ප්‍රතිසංස්කරණය පියවර

දශක කිහිපයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්  නොකර අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
 
දිස්ත්‍රික්ක ගණනාවක භාවිතයට හා ප්‍රතිසංස්කරණයට ලක් නොකර අත්හැර දමන ලද වැව් රැසක් පවතින බවට ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිළි අවධානයට ගනිමින් එවැනි අත්හැර දමන ලද වැව් කොපමණ ප්‍රමාණයක් තිබෙන්නේ ද යන්න සොයා බැලීම සඳහා සමීක්ෂණයක් අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
 
දැනට සිදු කළ සමීක්ෂණ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක ගණනාවක අත්හැර දමන ලද වැව් සම්බන්ධව හඳුනා ගැනීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කර තිබේ. වැව් යටතේ වගා කළ හැකි අක්කර 20කට වඩා කුඹුරු තිබෙන අත්හැර දමා ඇති වැව් පමණක් ප්‍රතීසංස්කරණය කර යළි ගොවිජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
 
ඒ අනුව මෙම වසර තුළ හම්බන්තොට, වව්නියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, මොනරාගල දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා ලද අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංවර්ධනය කිරීමට තීරණය කර තිබේ.
 
මේ සඳහා වෙන්කර ඇති මුදල රු. මි. 300කි.
 
මෙම වැව් යටතේ වී වගා කිරීම වෙනුවට එළවළු හා පලතුරු වගා කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත්, මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කිරීමට  අවධානය යොමු කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

නව අදහස දක්වන්න