ඡන්දය ඉක්මනින් පවත්වතැයි විශ්වාස කරනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක | දිනමිණ

ඡන්දය ඉක්මනින් පවත්වතැයි විශ්වාස කරනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක

ඉතා කඩිනමින් මැතිවරණය පවත්වයි කියා විශ්වාස කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර -ගලෙන්බිඳුණුවැව හුරුළු දේවාලයේ පැවති ආශිර්වාද පූජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

"පළාත් පාලන මැතිවරණය පිළිබඳව රටේම මේ වෙන කොට කතා බහ කරනවා. විශේෂයෙන්ම පසුගියදා (03) නඩු තීන්දුවත් එක්ක විශේෂ උද්‍යෝගයක් ඇති වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි මැතිවරණයකට බොහොම කැමතියි. නමුත් මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්නවලට මේ මැතිවරණයෙන් උත්තරයක් හොයන්න පුළුවන්ද? හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැතිවරණ තිබිය යුතුයි කියන තැන අපි ඉන්නවා. මාර්තු 09 වෙනිදා මැතිවරණයටත් අපි ලෑස්ති වෙලා හිටියේ. අපි විශ්වාස කරනවා, ඉතා කඩිනමින් මැතිවරණය පවත්වයි කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය සභා සඳහා තරග කරන්නේ අත ලකුණෙන්.

මොනවා වුණත් අපි සියලු දෙනාම ගොවියෝ. අපේ ආර්ථිකය තියෙන්නේ ගොවිතැන සාර්ථක වීමත් එක්ක. හැබැයි අපි දන්නවා, පහුගිය කාලවල නොයෙකුත් කරදර එක්ක අපේ ගොවීන්ට බලාපොරොත්තු වූ තරමේ අස්වැන්නක් ගෙන ආර්ථිකය ශක්තිමත් කර ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා, ඉදිරි යල කන්නයේ වැසි නියමිත පරිදි ලැබී ගොවීන්ට හොඳ ආර්ථිකයක්, හොඳ අස්වැන්නක් ලැබෙයි කියලා. අපි හුරුළු දේවාලයට පැමිණ මේ සියලු දේ ඉදිරි කාලයේ සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනාව තමයි කරන්නේ. රටේ ආර්ථිකය දැන් දිනෙන් දින හොඳ තත්ත්වයට පත් වෙමින් යනවා. අපි හිතනවාට වඩා ඉක්මනින් ආර්ථිකය ශක්තිමත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා."

නව අදහස දක්වන්න