නිවෙසින් අතුරුදන් වූ මුස්ලිම් තරුණියගේ සිරුර බේරුවල මුහුදේ පාවෙයි | දිනමිණ

නිවෙසින් අතුරුදන් වූ මුස්ලිම් තරුණියගේ සිරුර බේරුවල මුහුදේ පාවෙයි

ධීවර පිරිසක් දැක ගොඩට ගෙන ඇවිත්

 

බේරුවල නිවසකින් අතුරුදන් ව සිටි 25 හැවිරිදි අවිවාහක මුස්ලිම් තරුණියකගේ සිරුර බේරුවල මරදාන ධීවර තොටුපොළින් මුහුදු ගිය ධීවරයන්ට මුහුදු සැතපුම් දෙකක පමණ දුරක දී 4වන දින උදෑසන හමුවී තිබේ. ඒ බව පොලිසිය දැනුවත් කර වෙනත් බෝට්ටුවකින් ගොඩට ගෙන ඒමෙන් පසු බේරුවල මුස්ලිම් හදිසි මරණ පරීක්ෂක එම්. එන්. එම්. නස්රිම් මහතා මූලික විමර්ශන සිදුකර අනතුරුව බේරුවල පොලිසිය කළුතර අපරාධ ස්ථාන ( soko) නිලධාරීන් හා ඒකාබද්ධව වැඩිදුර විමර්ශන සිදුකර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත යොමු කළ බව බේරුවල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බේරුවල මොල්ලිමලේ පන්සල පාරේ පදිංචිව සිටි මොහොමඩ් ෆවුම්න් ෂනහාම් බානු (25) අවිවාහක තරුණියකි. ඇය නිවසින් අතුරුදන් බවට ඉකුත් 2 දින අලුයම හතරට පමණ භාරකරුවන් බේරුවල පොලිසියට පැමිණිලි කර තිබෙන අතර තරුණියගේ සිරුර බව භාරකරුවන් හඳුනාගන ඇතැයි පොලිසිය කීය.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ල ඔස්සේ අතුරුදන් තරුණිය සොයා නිවස ආසන්නයේ සිට මොල්ලිය මලේ සහ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශන ද පරීක්ෂා කර විමර්ශන සිදුකර ඇති අතර එක් ස්ථානයක ඇය ඇවිද යන දර්ශන නිරීක්ෂණවී තිබෙන බවත් ඉන් එහාට කිසිදු දර්ශනයක් නිරීක්ෂණය වී නොමැති බවත් පැවසේ.

එම තරුණිය කලක පටන් අසනීප තත්ත්වයකට ඖෂධ මාත්‍රා ගනිමින් සිටින තැනැත්තියක බවත් ඇය උසස් අධ්‍යාපනය හදාරා ඇති තැනැත්තියක් බවත් දෙමාපියන් පොලිසියට පවසා තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය කලුතර ශික්ෂණ මහ රෝහලේ දී සිදුකිරීමට නියමිත අතර බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත කළුතර අපරාධ ස්ථාන ඒකකයේ උප පොලිස් පරීක්ෂක නිලධාරිනී සකුන්තලා, පොලිස් සැරයන් ප්‍රදීප් (46735) ඇතුළු නිලධාරීහූ පිරිසක් විමර්ශන කටයුතු සිදු කරති.

අලුත්ගම  තුසිත කුමාර ද සිල්වා

නව අදහස දක්වන්න