මෙරට මුහුදු සීමාවේදී බොටම් ට්‍රෝලින් සඳහා කිසිදු ඉඩක් නෑ ධීවර ඇමැති ඉන්දීය ධීවර නියෝජිතයන්ට දැනුම් දෙයි | දිනමිණ

මෙරට මුහුදු සීමාවේදී බොටම් ට්‍රෝලින් සඳහා කිසිදු ඉඩක් නෑ ධීවර ඇමැති ඉන්දීය ධීවර නියෝජිතයන්ට දැනුම් දෙයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී බොටම් ට්‍රෝලින් ධීවර පන්නයට කිසිදු හේතුවක් මත ඉඩ දිය නොහැකි බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ඉන්දීය ධීවර නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

සාගර සම්පත විනාශ කරන බොටම් ට්‍රෝලින් පන්නය ධීවර ක්ෂේත්‍රයේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කරන බවත්, නීති විරෝධීව මුහුදු සීමා මායිම් උල්ලංඝණය කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ද ඉන්දීය ධීවරයන්ට කරුණු පැහැදිලි කර ඇති බවත් පසුගිය 03 වැනිදා කච්චතිව් දූපතේදී මෙරට උතුරු පළාත් ධීවර නියෝජිතයන් සහ ඉන්දීය ධීවර නියෝජිතයන් අතර පැවති සුහද සාකච්ඡාවේ සම්බන්ධීකාරකවරයා ලෙස සහභාගි වූ ඇමැතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්වරුන් අතර, ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවේදී ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලැබෙනු ඇතැයි ද ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

මේ සාකච්ඡාවට සහභාගි වීමට යාපනය, මුලතිව්, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ධීවර සංගම් නියෝජිතයෝ ද, තමිල්නාඩුවේ කාරයිකාල්, නාගපට්‌ටිනම් සහ පුදුකෝට්ටයි ප්‍රදේශවල ධීවර සංගම් නියෝජිතයෝ ද සහභාගිවී සිටියහ.

මේ හමුවේදී භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත සභාපති එම්. සී. මුනුසාමි, භාරතීය ජනතා පක්ෂයේ නාගපට්ටිනම් දිස්ත්‍රික් සභාපති අරුණාචලම්, ඩී. එම්. කේ. පක්ෂයේ නාගපට්ටිනම් දිස්ත්‍රික් උප සභාපති ජී. මනෝහරන් මහත්වරුන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ධීවරයන්ගේ ගැටලු තමන් වටහාගෙන සිටින බවත්, නීති විරෝධී ධීවර කර්මාන්තය පාලනය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත්ය. මේ සාකච්ජාවට නාවික හමුදාව නියෝජනය කරමින් රියර් අද්මිරාල් අනුර තෙන්නකෝන් මහතා ද සහභාගි වී සිටියේය.

අශෝක් කුමාර් සහ බුද්ධිකා ඉඹුලාන

නව අදහස දක්වන්න