මුරකුටියේ සිටි සෙබළාගේ විමසිලිමත් බව නිසා පනාගොඩ ටී-56 හොරාගේ පළමු කුරුමානම නූලෙන් වැරදිලා | දිනමිණ

මුරකුටියේ සිටි සෙබළාගේ විමසිලිමත් බව නිසා පනාගොඩ ටී-56 හොරාගේ පළමු කුරුමානම නූලෙන් වැරදිලා

මූලික විමර්ශනවලින් හෙළිවෙයි

පනාගොඩ යුද හමුදා නිවාස සංකීර්ණ මුර කුටියේ සිටි සෙබළාගේ ටී 56 ගිනි අවිය සොරා ගැනීමට පෙර කඳවුර පිටුපස වෙනත් මුර කුටියක සිටි සෙබළකුගේ ගිනි අවිය සොරා ගැනීමට උත්සාහ දරා ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

හයිලෙවල් මාර්ගයේ සිට පනාගොඩ හන්දිය දක්වා දිවෙන රොමියෙල් මාවත අසල ඉදි කර ඇති ආරක්ෂක මුර කුටියක රැඳී සිටි සෙබළකුගේ ගිනි අවිය මෙසේ සොරා ගැනීමට උත්සාහ දරා තිබේ.

සැකකරු යුද හමුදා නිවාස සංකීර්ණයේ ආරක්ෂක මුර කුටියෙන් ගිනි අවිය සොරා ගැනීමට පැයකට පමණ පෙර රොමියෙල් මාවත අසල ඉදි කර ඇති මුරකුටිය අසලට ගොස් තමා රෙජිමේන්තු සැරයන් මේජර් කෙනෙක්, ඇයි පුතා යන්නේ නැද්ද ඉස්සරහ කට්ටියම පෝලිම් කර තියෙනවා , යනුවෙන් පවසා තිබේ.

' ඔයා යනවා නම් යන්න මං මේ පැත්ත බලාගන්නම් , මම මෙතන තව ටික වෙලාවක් ඉන්නවා " යනුවෙන් ද පවසා තිබේ .

ඒ අනුව මුර කුටියේ සිටි සෙබළා බුද්ධිමත්ව කල්පනා කර උසස් නිලධාරියකුට දුරකථන ඇමතුමක් දී විමසා ඇත්තේ එවන් පෙළගැස්මක් තිබේද යන්නයි .

එවිට ඔහුට ලැබී තිබූ පිළිතුර වී ඇත්තේ " නෑ කවුද කිව්වෙ " යනුවෙනි.. පසුව සෙබළා ඒ පිළිබඳව මාර්ගයේ රැඳී සිටි පුද්ගලයාගෙන් විමසීමට යෑමේදී ඔහු එම ස්ථානයෙන් අතුරුදන්ව සිට ඇති බව පැවසේ.

ඒ අනුව විමර්ශන නිලධාරීන් සැක කරන්නේ එම උත්සාහය ව්‍යාර්ථ වීම නිසා හමුදා නිවාස සංකීර්ණය අසල පිහිටි මේ මුර කුටියට විත් එහි සිටි සෙබළා රවටා මෙසේ ගිනි අවිය සහ උණ්ඩ තොගය සොරා ගැනීමට බවයි.

නමුත් දෙවැනි මුර කුටියේ රැඳී සිටි සෙබළා රවටා බුලත් විටක් සහ දුම්වැටියක් රැගෙන එන ලෙස පවසා යාබද වෙළඳසලකට යවා,එහි තිබූ ටී 56 ගිනි අවියක් , උණ්ඩ එකසිය විස්සක් බහාලූ මැගසීන් 04, ඒවා බහාලන ආරක්ෂිත බෑගයක් සොරාගෙන ගොස් තිබුණි .

පසුව එම ගිනි අවිය සහ උණ්ඩ තොගය හෝමාගම මොරගහහේන මාර්ගයේ පිටිපන හන්දිය ආසන්නයේ බෝක්කුවක් යට සඟවා යාබද වෙළෙඳසලකට ගොස් පොහොර බෑගයක් ඉල්ලා තිබේ. ඉල්ලා සිටි ප්‍රමාණයේ බෑගයක් එම වෙළෙඳ සලෙන් ලබා ගැනීමට නොහැකි වූ නිසා වසා දමා තිබූ යාබද වෙළෙඳසලෙහි එල්ලා තිබූ පොලිතීන් කොළයක් කඩාගෙන පිටිපන හන්දිය දෙසට පා ගමනින් සැකකරු ගොස් තිබේ.

හිස් අතින් වෙළෙඳසලට පැමිණෙන අයුරු සහ පොලිතීන් කොළයක් කඩා ගන්නා අයුරු යාබද වෙළෙඳසලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණි .

පසුව සැකකරු එම පොලිතීන් කොළයේ ඔතාගෙන ගිනි අවිය සහ උණ්ඩ තොගය බැහැරට ගෙන ගොස් ඇති බවටයි පොලීසිය සැක කරයි.

මේ අතර බෝක්කුව යට සඟවා තිබූ ගිනි අවිය සහ මැගසීන් තොගය පොලිතින් කොළයේ ඔතා ගන්නා අවස්ථාවේදී උණ්ඩ 30 බහාලූ එක් මැගසීනයක් අත හැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබුණි .

සිද්ධියට සම්බන්ධ සැකකරු යුද හමුදාව හැර ගිය පුද්ගලයකු හෝ සක්‍රීය සේවයේ යෙදී සිටින්නෙකු බවට සැක කෙරෙන අතර ඔහු සොයා අංශ කීපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකය.

මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියට අමතරව පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

කොට්ටාව ප්‍රදීප් කුමාර

නව අදහස දක්වන්න