දෙලොවදීම හාම්පුත්තු විඳවපු දෙන්... | දිනමිණ

දෙලොවදීම හාම්පුත්තු විඳවපු දෙන්...

මෙලොවදීම අර්ථසාධක, පාරිතෝෂික ලබා දෙන්න

මැදින් පෝ සඳ තවම පෙරබර රැඳී තිබේ. තණ්හා බරිත සත්ත්වයා සිය සංසාර ගමන සඳහා අවශ්‍ය ඉන්ධනය ලෙස, එම තණ්හාවම උපයෝගී කර ගන්නා බවට වන ලෝ දහම වදාළ, සුගත් හු, එම තණ්හාවේ විවිධාකාර ප්‍රභේද ද වදාළ සේක. පසුගිය සති අන්තයේ සිළුමිණ පුවත්පත, සිය ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන ලද්දේ, සේවක අර්ථසාධක අරමුදල, පාරිතෝෂික දීමනා ලබා නොදුන් ආයතන විසිහතර දාහකට අධික සංඛ්‍යාවකට නඩු දමා ඇති බවය. ඒ හාම්පුතුන්ගේ නොහැකියාව නොව, තණ්හාවේ තරමය.

පළමුව මේ ඉදිරිගාමී පියවර සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වෙත ‘සැලියුට්’ කළ යුතුය. ඒ ආචාරය, ඔහු ඇතුළු කම්කරු දෙපාර්තමේන්තුවේ සහයක බලඇණිය වෙත පිරිනමන්නේ, හාම්පුතුන්ගෙන් විස්කි ආදිය ගෙන ‘කේස්’ යට ගසනා කල්ලියක්, කලක් ඔය අංශයේම රජ කරගෙන සිටි නිසාය.

මිනිසකු රස්සාවක් කරනු ලබන්නේ, සිය ජීවන පැවැත්ම උදෙසාය. දැරීමට නොහැකි ජීවන බර සමඟ සමහරු ජීවිතය දෙවැනියට තබා රස්සාවට පළමු තැන ලබා දේ. කොහොමටත් රස්සාව සඳහා පැය අටක් ගත කළ යුත්තේ වුවත්, එයට පැමිණීම සඳහා තවත් පැය දෙකක් පමණ ද යළි නිවසට යෑම සඳහා පැය දෙකක් ද ආදී ලෙස රැකියාව වෙනුවෙන් පැය 14ක් පමණ ගත කරන පිරිස් බහුලය. අවසානයේ රස්සාව වෙනුවෙන් ජීවත් වීම සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාගේ සිරිතය. එසේ සිය ජීවිතයේ වටිනාම කාලය ගත කර යමෙකු රැකියාවක් සිදු කරනු ලබන්නේ, අනේක විධ බාධක මැද්දේය. කැපිලි කෙටිලි, රැවුම් ගෙරවුම් ආදිය මැද්දේ රස්සාව කර, ගෙදර යන මිනිහාට ඇති එකම බලාපොරොත්තුව අර්ථසාධකය සහ පාරිතෝෂිකයයි. එයට ද කෙළින හාම්පුතාලාට, නිකම්ම සිටීමට ඉඩ නොදිය යුතුය. සමහර හාම්පුත්තු, ග්‍රැටිවිටිය සඳහා වැඩේ දෙන්නේ අමුතුම තාලයකටය. වසර දහයකට වැඩි සේවකයන් සඳහා වසරකට ලබා දෙන පාරිතෝෂිකය අතරමඟදී මාස භාගයකට බස්සන ඔවුහු, එය ද ලබා දෙන්නේ තවත් වසරකට පමණ පසුවය. සමහර ආයතන මේ පාරිතෝෂික මුදල වසර දෙක තුනක් දක්වා පමා කර ලබා දේ. එසේ වුවත් මේ ‘ව්‍යාපාරිකයෝ’ රටේ ආර්ථිකය පිළිබඳ ආණ්ඩුවට උපදෙස් දෙති. රට හදන අන්දම පිළිබඳව ‘අහුවුණු හැම තැනකදීම ටෝක්’ දෙති. එසේ කරමින්ම, තමන් පදින සුවිසල් වාහන කන්දරාව සඳහා කර දුන්, ෆැක්ටරියේ එකාගේ, අර්ථසාධකය සඳහා මුදල් නොදෙති.

මෙම පිරිස සඳහා නඩු දැමීම අගනා මෙහෙයකි. ඒ අතරේම ප්‍රසිද්ධ දැන්වීමක් ලෙස එම ආයතනයන්හි නම්, ගම් හිමිකරුවන් සහ අධ්‍යක්ෂවරුන්ගේ නම් ගම් ද සමඟම රටට ප්‍රසිද්ධ කළ යුතුමය. කම්කරු කොමසාරිස් චන්ද්‍රකීර්ති සිදු කරනු ලබන මෙහෙය, තවත් කීර්තිමත්භාවයට, එමඟින් පත්වනු ඇත. එසේ නම් ගම් හෙළි වූ විට, අප පරිභෝජනය කරනු ලබන භාණ්ඩයේ තැවරී ඇති වංචාවේ වපසරිය අනුව, ඒවා වර්ජනය කිරීම සඳහා වන සමාජ රැල්ලක් ජනතාවට අනුගමනය කළ හැකිය. මෙයින් සමහරක් ආයතන රටට මඟ කියන පන්නයේ ඒවාය. සමහර ආයතන ජනතා යහපත වෙනුවෙන් සත්කාර සිදු කරන ආයතන වේ. එවැනි ආයතනයන්හි ඇත්ත රට දැන ගත යුත්තේ, අද ජනතාව ජීවත් වන තත්ත්වය ඉදිරියේ, සිය සේවකයන්ගේ රුහිරු, දහදිය හොරකම් කර, මධුවිත පුරනා සහ සැප වලඳන ‘ගඳයන්’ නිරාවරණය උදෙසාය.

එසේම ඉක්මනින්ම මේ පිරිස සඳහා දඬුවම් ලබා දීම ද කළ යුත්තේය. අර්ථසාධක මුදල් හෝ පාරිතෝෂිකයේ පමාව යනු, ඒ සේවකයාගේ සැත්කම සඳහා දින පමා වීම විය හැකිය. බෙහෙත් ගැනීම සඳහා මුදල් නොමැති වීම විය හැකිය. දූ දරුවන්ගේ මඟුල් තුලා සඳහා මුදල් අහිමි වීම විය හැකිය. සමහර විට නඩු පවරා මේවා ලැබෙන විට ඒ මිනිසා, මිය ගොසින් ද විය හැකිය.

අනුන්ගේ ශ්‍රමය සූරා කන හාම්පුත්තු බොහෝ දෙනෙක් ඒ දුක නොදනිති. එක්කෝ ඒ ‘බක්කෝ’ අනුන්ගේ මුදල් සොරකම් කර සැප විඳිති. නැතහොත් ඔවුනගේ පවුල් අවුල්ය. දෙන්නා දෙමහල්ලෝ දෙතැනකය. ළමෝ තව තැනකය. ඒ නිසා පවුලක අගය ඒ හාම්පුත්තු නොදනිති.

ධර්ම විග්‍රහය අනුව, පරවිත්තූපකරණ යන පදයට අර්ථ දෙකක් ඇත. ඉන් එකක් නම්, අනුන්ට අයත් වටිනා බඩුය. අනික නම්, අනුන්ට අයත් ධනයත්, උපකරණත්ය. ශ්‍රමය අයත් වන්නේ ද මේ ගණයටය. ශික්ෂා පදවලින් පැහැදිලි කොට ඇති අකරණීය හෙවත් නොකළ යුතු කරුණු ගණයට පරවිත්තූපකරණය අයත් වේ. යමෙක් සොරකම් කළ කල්හි ඔහු පිළිබඳ සමාජය නිතර දෙවේලේ සැකයෙන් බලනවා සේම, එය මෙලොව පමණක් නොව, පරලොව කරා ද ගමන් කරයි. අදත්තාදානය බහුලව කරන පුද්ගලයා මරණින් මතු අපායෙහි උපදී. තිරිසන් යෝනියෙහි උපදී. ප්‍රේතයකු වී උපදී. මනුෂ්‍ය ආත්මයෙහි උපත ලදුව ද දිළින්දෙකු වෙයි. ලැබෙන්න තියන දේ පෙනි පෙනී නොලැබෙයි. මේ ආකාරයට එහි විපාක මෙලොව පරලොව දෙකේදීම විඳීමට සිදු වන බව ධර්මයේ සඳහන් වෙයි.

ඒ ආනිශංස නොඅඩුව එලොවදී සහ මෙලොවදී ,මේ හාම්පුත්තු ලබනවා ඇත. සිය ජීවිතයේ හොඳම කාලය, ආයතනයක් වෙනුවෙන් වැය කළ සේවකයා වෙත, වේතනය පමණක් නොව, අර්ථසාධක මුදල් හෝ පාරිතෝෂිකය ද හිමිය. ඒ හිමිකම මෙලොවදීම ලබා දීම නීතියේ වගකීමය.

නව අදහස දක්වන්න